(UPDATE) පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සොයා දකුණුදිග ඉන්දීය සාගරය පීරා යන චීන නෞකාවකට ගුවන්යානාවේ කළු පෙට්ටියකින් නිකුත් කරන ශබ්ද තරංගවලට සමාන සංඥාවක් හසුවී ඇති බව චීන මාධ්‍ය පවසා සිටියි.
ඔවුන් පෙන්වා දෙන පරිදි එය කිලෝහර්ට්ස් 37.5 සංඛ්‍යාතයක තරංගයකි. එය ගුවන්යානයේ කළු පෙට්ටියෙන් නිකුත් කරන ශබ්ද තරංගයට බොහෝ සේ සමානය.
කෙසේ වෙතත් එය අතුරුදන් වූ MH370 යානය හා සම්බන්ධයක් පවතීද යන්න තහවුරු කරගැනීමට තවමත් සාක්ෂි සාධක හමුවී නැති බවද එකී චීන මාධ්‍ය පවසා සිටියි.
MH370 සෙවීමේ මෙහෙයුම අතිශය වේගවත්ම අදියරක
පුද්ගලයන් 239 දෙනෙකු සමග අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය සෙවීමේ මෙහෙයුම අද දිනයේදී අතිශය වේගවත්ම අදියරකට පැමිණි ඇති බව විදෙස් පුවත් සේවා උදෑසන පවසා සිටියේය.
ඒ අනුව, අතුරුදන් යානය සොයා දුසිම් ගණනක් වූ ගුවන් යානා සහ නෞකා දකුණුදිග ඉන්දීය සාගරය පීරමින් සිටින බවද පැවසුණි.
සෝදිසි මෙහෙයුම් සම්බන්ධීකරණය කරන ඔස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දී තිබුනේ ගුවන් යානා 13ක් සහ නෞකා 11ක් අද දිනයේ මෙහෙයුම්වලට සම්බන්ධ වී සිටි බවය.
එහිදී, ‘පින්ගර් ලොකේටර්’ නම් උපකරණයක් හරහා අතුරුදන් වූ යානයේ කළු පෙට්ටියෙන් නැගෙන සියුම් ශබ්ද තරංග ග්‍රහණය කරගැනීම සඳහා අති නවීන තාක්ෂණයෙන් සන්නද්ධ නෞකාද මෙහෙයුමට සම්බන්ධව සිටි බවත්, කළු පෙට්ටියේ බැටරි බලය හීන වී යාමට ආසන්න වීම හේතුවෙන් මෙසේ සෝදිසි මෙහෙයුම් කඩිනම් කර ඇති බවත් බලධාරීහු පැවසූහ.
බැටරි බලයෙන් නිකුත් කෙරෙන මෙම පින්ගර්ස් හෙවත් සියුම් ශබ්ද තරංග යානයක් අනතුරට පත්වීමෙන් පසුව ක්‍රියාත්මක තත්ත්වයේ පවතින්නේ දින 30ක කාලයකි.
මෙම, MH370 යානය පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං නුවර දක්වා ගමන් කරමින් සිටියදී අතුරුදන් වූ අතර, යානය දකුණුදිග ඉන්දීය සාගරයට කඩා වැටී ඇති බව චන්ද්‍රිකා දත්ත විශ්ලේෂණය කිරීමෙන් නිගමනයකට පැමිණ තිබුණි. කෙසේ වෙතත් යානය මේ ආකාරයෙන් සිය ගමන්මග වෙනස් කරන ලද්දේ කවර හේතුවක් නිසාද යන්න තවමත් අභිරහසක්ව පවතී.