මැලේසියානු ගුවන් සේවයට අයත් අතුරුදන් වූ MH370 යානයේ ගමන් කළ මගීන්ගේ ඥාතීන් වෙත ඇ.ඩො.50,000 බැගින් (රු.ලක්ෂ 65ක් පමණ) වූ මූලික වන්දි මුදලක් ගෙවීම අරඹා ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
දැනටමත් මැලේසියානු පවුල් 6ක් සහ චීන පවුලක් වෙත මෙම වන්දි මුදල් ලැබී ඇති බවත්, තවත් චීන පවුල් 40ක් වෙත මෙම මූලික වන්දි මුදල ලබාදෙන බව තහවුරු කර ඇති බවත් වාර්තා වෙයි.
යානයේ අතුරුදන් වූ පුද්ගලයන් 239 දෙනාගේ සෑම ඥාති පවුලක් වෙතම සම්පූර්ණ වන්දි මුදල ලෙස ඇ.ඩො.175,000 බැගින් (රුපියල් දෙකෝටි තිස් ලක්ෂයක් පමණ) වූ හිමිකමක් පවතින බවද කියැවෙයි.
පසුගිය මාර්තු 08 වැනිදා මැලේසියාවේ ක්වාලලාම්පූර් නුවර සිට චීනයේ බිජිං දක්වා ගමන් අරඹා පැයක පමණ කාලයකින් රේඩාර් පද්ධතියෙන් අතුරුදන් වූ MH370 යානය සොයා ගැනීම වෙනුවෙන් ලොව එදාමෙදා තුර සිදුකරන ලද දැවැන්තම සෝදිසි මෙහෙයුම සිදුකළද යානය පිළිබඳ කිසිදු හෝඩුවාවක් මේ දක්වා සොයා ගැනීමට නොහැකි වී තිබේ.
මැලේසියාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය හම්සාහ් සයිනුඩීන් පවසා සිටින්නේ, යානය අතුරුදන් වී ඇති බවට තවම තහවුරු කරගෙන නොමැති බවයි. මේ හේතුවෙන් යානය සොයා සිදුකරන මෙහෙයුම් තවදුරටත් සිදුවන නිසා යානයේ ගමන්ගත් මගීන්ගේ ඥාතීන්ට හිමිවිය යුතු සම්පූර්ණ වන්දි මුදල් පිළිබඳ කතා කළ නොහැකි බවයි.
මැලේසියානු ගුවන් සේවයේ රක්ෂණකරු ලෙස කටයුතු කරන ජර්මනියේ එලයන්ස් ප්රමුඛ මූල්‍ය ආයතන සමූහයක් විසින් මෙම වන්දි ගෙවීම සිදුකරයි.