(UPDATE) අතුරුදන් වූ මැලේසියානු ගුවන් යානයේ සුන්බුන් විය හැකි බවට සැක කෙරෙන නවතම චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් පිළිබඳව චීනය නිරීක්ෂණය කරමින් සිටින බව මැලේසියානු බලධාරීහු අද පවසා සිටියේය.
මැලේසියාවේ වැඩබලන ප්‍රවාහන අමාත්‍යවරයා පවසා සිටියේ එම නවතම චන්ද්‍රිකා ඡායාරූපවලට අනුව දකුණුදිග ඉන්දීය සාගරයේ පාවෙමින් තිබූ එක් සුන්බුන් කොටසක දිග මීටර් 22.5ක් පමණ විය හැකි බවය.
පුද්ගලයන් 239 දෙනෙකු රැගෙන පසුගිය 08 වැනිදා අතුරුදන් වූ මැලේසියානු ගුවන් සේවයට අයත් MH370 යානය අතුරුදන්ව තෙවැනි සතියත් ඇරඹී ඇත.
මීට දින තුනකට පෙර ජාත්‍යන්තර සෝදිසි මෙහෙයුම් කණ්ඩායම් ඉන්දියානු සාගරයේ දකුණුදිග කලාපය වෙත සිය නිරීක්ෂණයන් යොමු කළේ ඔස්ට්‍රේලියාව විසින් නිකුත් කළ යානයේ සුන්බුන් විය හැකියැයි විශ්වාස කළ හැකි චන්ද්‍රිකා ඡායාරූප කිහිපයක් නිසාය.
නමුත්, ඊයේ රාත්‍රිය වනවිටත් කිසිදු හෝඩුවාවක් ලබාගැනීමට නොහැකි වූ බවත්, එම කලාපයේ මෙහෙයුම් තෙවැනි දිනටත් මේ වනවිට ආරම්භ වී ඇති බවත් වාර්තා වෙයි.
MH370 දරණ යානය මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට චීනයේ බෙයිජිං නුවර බලා පියාසර කිරීම ඇරඹී පැයක කාලයකින් යානය සමග වූ සියලු සම්බන්ධතා බිඳී ගිය අතර, එතැන් සිට යානයට සිදුවූයේ කුමක්ද යන්න ලොවටම මහත් වූ උභතෝකොටිකයක් වී ඇති බව නොරහසකි.
මැලේසියානු බලධාරීන් විශ්වාස කරන්නේ යානය හිතාමතාම වෙනතකට හරවා ඇති බවය. නමුත්, යානය පැහැර ගත්තේද යන්න ඔවුන් කිසිවෙකු තවමත් සනාථ කර නැත.
ඔස්ට්‍රේලියාවේ පර්ත් නගරයෙන් නිරිතදිග මුහුදු සීමාව ආශ්‍රිතව වර්ග කිලෝමීටර් 23,000ක කලාපයක් මේ වනවිට ගුවන් යානා 5ක්, යොදා ගනිමින් සෝදිසි කරමින් සිටින බව ඔස්ට්‍රේලියානු බලධාරීන් පවසයි.
මෙම චන්ද්‍රිකා ඡායාරූප පිළිබඳව හෙළිකළ ඔස්ට්‍රේලියානු අගමැති ටෝනි ඇබ්බොට් පවසා සිටියේ, මෙම රළු මුහුදු කලාපයේ සෝදිසි මෙහෙයුම් අතිශය අසීරු වුවත්, එහි යමක් තිබුණොත් එය කෙසේ හෝ සොයා ගැනීමට ඔවුන් කටයුතු කරන බවයි.