මැලේසියානු ගුවන් සේවයට අයත් MH17 ගුවන්යානා අනතුර යුද අපරාධයක් විය හැකි බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් නවනීදන් පිල්ලේ පවසයි.
යුක්රේනය මෙන්ම බටහිර රාජ්‍යයන් විශ්වාස කරන්නේ මෙම යානය රුසියානු හිතවාදී කැරලිකරුවන් රුසියාවෙන් ලබාගත් මිසයිල පද්ධතියක් යොදා ප්‍රහාර එලල් කොට බිම හෙලූ බවයි.
පසුගිය 17 වැනිදා සිදුවූ මෙම අනතුරින් යානයේ ගමන්ගත් 298 දෙනාම ජීවිතක්ෂයට පත්වූ අතර, ඉන් බහුතරය නෙදර්ලන්ත ජාතිකයන් විය.
මේ අතර, මොස්කව් හා කැරලිකරුවන් යානා අනතුර සම්බන්ධයෙන් යුක්රේන හමුදාවට චෝදනා එල්ල කළේය.
ඒ අනුව, මෙම අනතුර සම්බන්ධ පරීක්ෂණ පැවැත්වීමට නෙදර්ලන්ත හා ඔස්ට්‍රේලියා විශේෂ පොලිස් කණ්ඩායම් සූදානමින් සිටියත්, එම කලාපයේ පවතින දරුණු ගැටුම් හේතුවෙන් ඒ වෙත ඇතුළු වීම ඔවුන්ට දැඩි අභියෝගයක් වී ඇති බව කියැවෙයි.