අවසන් යුද සටන් පැවැති මුලතිව් මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්රදේශයේ එල්.ටීටී.ඊ. සංවිධානය විසින් රත්තරන් හා යුද අවි තොගයක් වළ දැමූ බවට සැක සහිත ස්ථානයක ඊයේ (20දා) සවස ආරක්ෂක අංශ මගින් කැණීම් සිදු කළද එහි කිසිවක් නොමැති වීම හේතුවෙන් නැවත හෙට (22දා) කැණීම් සිදුකිරීමට නියමිතව තිබේ.
මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසියට හා යුද හමුදාවට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මුලතිව් මහෙස්ත්රාත් එස්. ලෙනින්කුමාර් මහතාගේ නියෝගයක් මත එතුමන් ඉදිරියේදී මුල්ලිවයික්කාල් නැගෙනහිර ප්රදේශයේදී රත්තරන් හා යුද අවි සොයා පස් කපන යන්ත්රානුසාරයෙන් මෙම කැණීම සිදුකෙරිණි.
මුලතිව් මහේස්ත්රාත්වරයා හා පොලීසිය,පොලිස් විශේෂ කාර්ය බළකාය හා යුදහමුදාව ඉදිරියේදී පැය තුනක පමණ කාලයක් මෙම කැණීම් සිදු කළද පොළව යටින් ජලය මතු වීමත් සමග කැණිම් කටයුතු තාවකාලිකව නවතා දැමූ අතර, එහි කැණීම් කටයුතු නැවත හෙට (22දා) පැවත්වීමට මහෙස්ත්රාත්වරයා නියෝග කළේය.
පසුගිය දින කිහිපයේදීද මුලතිව් මුල්ලි වයික්කාල්හි රත්තරන් හා යුද අවි වළදමා ඇති බවට ලැබුණු තොරතුරුවලට අනුව සිදු කරන ලද කැණීම්වලින් කිසිවක් හමු නොවුණු අතර, මුලතිව් පුදුකුඩිඉරිප්පු පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.