එල්.ටී.ටී.ඊ. සංවිධානය හා සම්බන්ධකම් පවත්වන්නේයැයි චෝදනා මත සංවිධාන 8කට හා පුද්ගලයින් 269කට ශ්‍රී ලංකාවට පැමිණීමට හා ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වීමට තිබූ තහනම ඉවත් කිරීමට රජය කටයුතු කර තිබේ.
රජය විසින් පසුගිය සිකුරාදා නිකුත් කර තිබෙන ගැසට් පත්‍රයට අනුව 2014 මාර්තු මස නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයකින් තහනම් කර තිබූ සංවිධාන 16 ක් හා පුද්ගලයින් 426 දෙනෙකු අතරින් මෙම සංවිධාන අටක හා පුද්ගලයන් 269 දෙනාගේ තහනම ඉවත් කර තිබේ.
බ්‍රිතාන්‍යයේ දෙමළ සංසදය,කැනඩා දෙමළ කොංග්‍රසය,ඕස්ට්‍රේලියා දෙමළ කොංග්‍රසය,ගෝලීය දෙමළ සංසදය,ඊළාම් දමිළයන්ගේ කවුන්සිලය,දෙමළ ජාතික කවුන්සිලය,තරුණ දෙමළ සංවිධානය,ලෝක දෙමළ සම්බන්ධීකරණ කමිටුව යන සංවිධාන මත පනවා තිබූ තහනම මෙසේ ඉවත් කර තිබේ.
පුද්ගලයන් 269 කට අධික සංඛ්‍යාවක්ද මේ අතරට ඇතුළත් අතර ඔවුහු උතුරු ඇමරිකාවේ හා යුරෝපයේ වාසය කරති.
ඉතිරි සංවිධාන අට හා පුද්ගලයින් 155 ක් පමණ දෙනා සම්බන්ධයෙන් තහනම දිගටම ක්‍රියාත්මක වන බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.
මේ අතර, එල්.ටී.ටී.ඊ. සංවිධානයට සම්බන්ධ බවට හඳුනාගනිමින් පසුගිය ආණ්ඩුව තහනම් කළ විදේශීය දෙමළ සංවිධාන හතකට ශ්‍රී ලංකාව තුළ කටයුතු කිරීමට අවස්ථාව ලබාදුන්නේ ඔවුන්ගෙන් තර්ජනයක් නැති බවට බුද්ධි අංශ වාර්තා මගින් පෙන්වා දුන් නිසා යැයි ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි මහතා 'අද' ට ප්‍රකාශ කළේය.
ඒ පිළිබඳව බුද්ධි අංශ විසින් පරීක්ෂණයක් පැවැත්වූ බවත්, එහි නිගමන මත දෙමළ සංවිධාන හතෙහි තහනම ඉවත් කළ බවත් ආරක්ෂක ලේකම්වරයා සඳහන් කළේය.තහනම ඉවත් කර තිබෙන බැවින් එම සංවිධානවලට ශ්‍රී ලංකාවට පැමිණ ඔවුන්ගේ කටයුතුවල යෙදිය හැකි බවද හෙට්ටිආරච්චි මහතා පවසා සිටියේය.