යුරෝපා සංගමය විසින් ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරීම තාවකාලිකව නවතා දමා ඇති එල්.ටී.ටී.ඊ. සංවිධානය හා හමාස් සංවිධානය තහනම් ත්‍රස්ත සංවිධාන ලැයිස්තවෙන් ඉවත් කළ යුතු බව යුරෝපා සංගමයේ ඉහළම අධිකරණයක උපදේශකයෙකු විසින් යෝජනා කර තිබේ.
එම සංවිධාන ත්‍රස්තවාදී සංවිධාන බවට තහවුරු කිරීම සඳහා අදාළ සංවිධාන ක්‍රියාත්මක වූ මෙන්ම ක්‍රියාත්මක වෙන රටවල් ප්‍රමාණවත් තරම් සාක්ෂි ඉදිරිපත් කිරීමට අපොහොසත්ව ඇති බව මෙම උපදේශකයා විසින් පෙන්වා දී ඇත. මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත් සේවය පැවැසුවේ එම ත්‍රස්ත සංවිධාන විසින් ත්‍රස්ත ප්‍රහාර දියත් කර ඇති බවට ප්‍රමාණවත් සාක්ෂි ඉදිරිපත් කර නැති බවට එම උපදේශකයා පවසා ඇති බවයි.
හමාස් සංවිධානය ඊශ්‍රායෙලයේ සිට ක්‍රියාත්මක වෙන අතර එල්.ටී.ටී.ඊ. සංවිධානය ශ්‍රී ලංකාවේ සිට ක්‍රියාත්මක වුවත් එය යුධමය වශයෙන් පරාජය කිරිමට ශ්‍රී ලංකාව සමත්විය. කෙසේ වෙතත් එම සංවිධාන දෙක යුරෝපා සංගමයේ ත්‍රස්ත සංවිධාන ලැයිස්තුවෙන් ඉවත්වීමට අවශ්‍යනම් ඒ පිළිබඳව යුරෝපා සංගමයේ රාජ්‍යයන් සමග දිගු කාලීන වශයෙන් අධිකරණ කටයුතු සිදුකිරීමට සිදුවෙනු ඇති බවද 'ද වෝල් ස්ට්‍රීට් ජර්නල්' පුවත් සේවය තොරතුරු වාර්තා කරයි.
2014 වසරේදී හමාස් සංවිධානය හා එල්.ටී.ටී.ඊ. සංවිධානය ත්‍රස්ත සංවිධාන බවට නම් කිරීම තාවකාලිකව නැවැත්වීමට යුරෝපා සංගමයේ දෙවැනි උපරිමාධිකරණය තීරණය කළේය. කෙසේ වෙතත් ඇමෙරිකාව හා එංගලන්තය එම සංවිධාන තහනම් කළ පමණින් මෙන්ම අන්තර්ජාලයේ මෙන්ම මාධ්‍ය හරහා පළවු ලිපි පදනම් කරගනිමින් පමණක් එම සංවිධාන ත්‍රස්ත සංවිධාන ලෙස නම් කළ නොහැකි යැයි පවසමින් යුරෝපා සංගමය මේ වන තාවකාලිකව එම සංවිධාන ත්‍රස්ත සංවිධාන ලෙස නම් කිරිම නවතා තිබේ. මේ පිළිබඳව අදහස් දක්වා ඇති යුරෝපා සංගමයේ ඉහළම තීතිවේදිනියක්ද ඒ බව සනාථ කර තිබේ.