GSP+ නැවත දීමට යුරෝපා සංගමයේ අවධානය
GSP+ බදු සහනය නැවතත් ශ්‍රී ලංකාවට ලබාදීම පිළිබඳ සලකා බැලීම සඳහා යුරෝපා සංගමය නියෝජනය කරමින් ඉහළ මට්ටමේ දූත පිරිසක් මාර්තු 23 වැනිදා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත බව ශ්‍රී ලංකාවේ යුරෝපා සංගම් තානාපති ඩේවිඩ් ඩැලී මහතා පවසා සිටියේය.
හෙතෙම මෙම අදහස් පළකළේ, GSP+ බදු සහනය ලබාගැනීමට අදාලව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සමග ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේදී පසුගියදා පැවති මූලික සාකච්ඡාවකදීය. එහිදී වැඩිදුරටත් කරුණු දැක්වූ තානාපති ඩැලී මහතා පවසා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ආකල්පය ධනාත්මක බවත්, එය තවදුරටත් ශක්තිමත් කරගැනීමට කාලය පැමිණ ඇති බවත්ය.
&GSP+ බදු සහනය ලබාගැනීම පහසු හෝ කඩිනම් කටයුත්තක් නොවෙයි. එය සංකීර්ණ ක්‍රියාදාමයක්. ඒ සඳහා සැලකිය යුතු කාලයක් ගතවේවි. දැනට GSP+ බදු සහනය ලබන ලෝකයේ වෙනත් රටවල් මෙන්ම ශ්‍රී ලංකාවද ඒ වෙනුවෙන් වන ජාත්‍යන්තර සම්මුතීන් 27කට අනුකූලතාවය දැක්විය යුතුයි. ළමා ශ්‍රමය භාවිත නොකිරීම, කම්කරු හා මානව අයිතීන් ආරක්ෂා කිරීම ඇතුළු කරුණු ඊට අනුගතයි.
මේ බදු සහනය ලබාදීමට අදාල මූලික වටයේ සාකච්ඡා සඳහා බ්‍රසල්ස් නුවර සිට යුරෝපා සංගමයේ ඉහළ පෙළේ දූත පිරිසක් මාර්තු මස 23 දා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතයි. ඒ දූත පිරිස හා පැවැත්වෙන ද්වීපාර්ශ්වික සාකච්ඡාවන්හි ප්‍රගතිය විශ්ලේෂණය කොට, වැඩිදුර අගයීම සඳහා ලබන අප්‍රේල් මාසයේදී තවත් දූත පිරිසක් පැමිණීමට නියමිතයි. කෙසේ වෙතත්, පැවැත්වීමට නියමිත සාකච්ඡාවන්හි ප්‍රගතිය හා සමාලෝචනයන් මත GSP+ බදු සහනය ලබාදීම සහ අනෙකුත් ද්වීපාර්ශ්වීය සහයෝගීතාවන් පිළිබඳ යුරෝපා සංගම් නිර්දේශ ලැබේවි.* යනුවෙන් තානාපතිවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය බදියුදීන් මහතා පවසා සිටියේ, GSP+ බදු සහනය අහිමි වීමෙන් ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්ත අංශයට දැඩි පාඩුවක් සිදුවූ බවයි. එබැවින් එය නැවතත් ලබාගැනීම ශ්‍රී ලංකාවේ ආර්ථික දියුණුවට බෙහෙවින් ඉවහල් වනු ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
&වත්මන් රජයේ දින 100 වැඩපිළිවෙල තුළ GSP+ බදු සහනය නැවත ලබාගැනීමට විශේෂ ස්ථානයක් හිමිව තිබෙනවා. ඒ සම්බන්ධයෙන් යුරෝපා සංගමය දැක්වූ සුබවාදී ප්‍රතිචාර අගය කරනවා. යුරෝපා සංගම් නිලධාරීන් හා ඉදිරියේදී පැවැත්වීමට නියමිත සාකච්ඡා සාර්ථක වනු ඇති බවට අප විශ්වාසය පළ කරනවා.* යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පවසා සිටියේය.
2014 වර්ෂයේ ශ්‍රී ලංකාව හා යුරෝපා සංගමය අතර සමස්ත ද්වීපාර්ශ්වික වෙළෙඳ අගය ඇ.ඩො.බිලියන 5.07 කි. පෙර වසරට සාපේක්ෂව එය 3.6෴ ක වර්ධනයකි. GSP+ බදු සහනය නැවත ශ්‍රී ලංකාවට හිමි වුවහොත් යුරෝපා සංගමය වෙත කෙරෙන ශ්‍රී ලංකා අපනයනයන්හි ශීඝ්‍ර වර්ධනයක් ඇති වනු ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය විශ්වාසය පළ කරයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

