සරත් ෆොන්සේකා අමාත්‍යවරයා තමන් වහන්සේ සම්බන්ධයෙන් කරන ප්‍රකාශ පිළිබඳව කනගාටු වන බවත්, රජය මෙවැනි ඇමැතිවරුන් හමුවේ අපකීර්තියට පත්වන බවත් පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියෝ පවසති.
හිටපු විදේශ කටයුතු අමාත්‍ය සහ එක්සත් ජාතික පක්ෂ උපනායක, පර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා ඊයේ (08දා) පස්වරුවේ කොළඹ 07, ධර්මාරාමයට පැමිණ පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් බැහැදුටු අවස්ථාවේදී උන්වහන්සේ මෙසේ ප්‍රකාශ කර තිබේ.
ඇතැම් දේශපාලඥයන් රවි කරුණානායක මහතාගේ නායකත්වය හමුවේ භීතියෙන් සිටින බවත්, එවැනි කුණාටුවලටවලට බිය නොවිය යුතු බවත් උන්වහන්සේ එම හමුවේදී පෙන්වාදුන් බවද සඳහන් වේ.
තමා එදා සිටම රට සහ රටේ ජනතාවගේ සුරක්ෂිතතාව වෙනුවෙන් පෙනී සිටිය බවත්, එය කුමන දේශපාලන වාතාවරණයක් තුළදී වුවද හඳුනා ගත හැකි බවත් උන්වහන්සේ පැවසූ බව සඳහන් වේ. එමෙන්ම, රට ඉතාම පිරිහෙමින් පවතින බවත්, ඒ ගැන තමන් වහන්සේ කණගාටු වන අතර, ජාතික සම්පත් විකිණීමට තමන් වහන්සේ විරුද්ධ බවද සඳහන් කළ බව කියැවේ. එමෙන්ම, මීළඟ මැතිවරණයේදී ඒ ගැන හඬක් නඟන බවද උන්වහන්සේ අවධාරණය කළ බවද සඳහන් වේ.
මෙම හමුවෙන් අනතුරුව මාධ්‍ය හමුවේ අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී රවි කරුණානායක මහතා කියා සිටියේ සම්මුතිවාදී ආණ්ඩුව සමාජයේ ඕනෑම ගැටලුවකට ඇහුම්කන් දීමට සූදානම් බවයි. සරත් ෆොන්සේකා ඇමැතිවරයා යම් අදහසක් ප්‍රකාශ කිරීම තුළින් ගැටලුවක් පැනනැගී ඇත්නම් ඒ ගැන කතාබස්කර එය විසදා ගැනීමට මිසක් එය තවදුරට ගෙන ගොස් අවුලක් ඇති කිරීම මේ මොහොතේ නොකළ යුත්තක් බවත් රවි කරුණානායක මහතා පවසා තිබේ.