පනාගොඩ, අතුරුගිරිය හා හෝමාගම ප්‍රදේශයන්හි නිදැල්ලේ සැරිසරණ තිත් මුවන් හේතුවෙන් ප්‍රදේශවාසීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බැවින් එම සතුන් අල්ලා විල්පත්තු ජාතික වනෝද්‍යානයට මුදාහැරීමේ වැඩපිළිවෙළක් දියත් කර ඇති බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ අනුව, එසේ අල්ලා ගත් තිත් මුවන් 10 දෙනෙකු අත්තිඩිය, වනජීවී රැඳවුම් මධ්‍යස්ථානය භාරයේ සිට අද (21දා) පස්වරුවේ විල්පත්තු ජාතික වනෝද්‍යානය වෙත මුදාහැරීමට කටයුතු සූදානම්කර ඇත.
අත්තිඩිය වනජීවී රැඳවුම් මධ්‍යස්ථානයේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී සුහද ජයවර්ධන මහතා ප්‍රකාශකර සිටියේ, පනාගොඩ හමුදා කඳවුර ආශ්‍රිතව ව්‍යාප්තව සිටි මෙම සතුන් සාමාන්‍ය ජනතාව වෙසෙන ප්‍ර‘දේශයන්හී මේ වනවිට දැඩිව ව්‍යාප්තව ඇති බවයි.
මුවන් 20ක් 30ක් පමණ ප්‍රමාණයකගෙන් සැදුම් ලත් කණ්ඩායම් එලෙස ප්‍රදේශය පුරා සැරිසරන බවත්, ප්‍රදේශවාසීන්ගෙන් ඔවුන්ට හානි සිදු නොවුණද සුනඛයන් වැනි සතුන්ගේ සපාකෑම්වලට මෙන්ම විවිධ ස්වාභාවික අනතුරුවලට මෙම සතුන් දැඩිව මුහුණපාන බවද පැවසේ. පොලිතීන් ආහාරයට ගැනීම හේතුවෙන් මියගොස් සිටි ඇතැම් තිත් මුවන්ද හමුව ඇති බව වෛද්‍ය සුහද ජයවර්ධන මහතා පැවසීය.
ඒ මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියේ, ශ්‍රී ලංකාව තුළ ආරක්ෂිත සත්ත්වයෙකු වන තිත් මුවා මෙලෙස මිනිසුන් බහුල ප්‍රදේශවල ව්‍යාප්ත වීම සතුන්ට මෙන්ම ප්‍රදේශවාසීන්ටද අපහසුවක් වන බැවින් එම සතුන් අල්ලා ජාතික වනෝද්‍යානයකට මුදාහැරීමට මෙලෙස කටයුතු කරන බවයි.