හොඳම බිම්වෙඩි හඳුනාගැනීමේ කණ්ඩායම ලෙස ‘බිම්වෙඩි හඳුනාගැනීමේ සුනඛයා -2016’ සම්මානයෙන් ශ්‍රී ලංකා යුද හමුදාවේ බෝම්බ හඳුනාගැනීමේ සුනඛයා වන අල්වින් සහ එම සුනඛයාගේ හසුරුවන්නා වන 07 වැනි කාරක ඉංජිනේරු රෙජිමේන්තුවේ ලාන්ස් කෝප්රල් ජී.එන්.ඩබ්ලිව්.එන්. නවරත්න මහතා පිදුම් ලැබීමට නියමිතය.
ලෝකය පුරා බිම්බෝම්බ ඉවත් කිරීමේ කාර්මික දැනුම ලබාදීමේ ආයතනයක් වන එක්සත් ජනපදයේ ස්ථානගත මාර්ෂල් ලිගර්සි ආයතනය විසින් මෙම සම්මාන උලෙළ පවත්වනු ලබන අතර, එය ලබන මස 26 වැනිදා ඇමෙරිකාවේ වොෂිංටන් නුවරදී පැවැත්වීමට නියමිතය.
මෙම ද්විත්ව සාමාජික බිම් බෝම්බ නිරීක්ෂණ කණ්ඩායමේ අල්වින් සහ එම සුනඛයාගේ හසුරුවන්නා වන ලාන්ස් කෝප්රල් නවරත්න 2011 දෙසැම්බර් 28 වැනිදා සිට එක්ව වැඩ කටයුතු කරන අතර, උතුරු නැගෙනහිර ප්‍රදේශයේ මේ වනවිට ආසන්න වශයෙන් වර්ග මීටර 73,340 ක පමණ බෝම්බ නිශ්ක්‍රීය කිරීම් සිදු කර ඇති බව යුද හමුදාව පවසයි.
මේ යටතේ ආර්.පී.ජී. 20 ක්, අත්බෝම්බ 48 ක්, පුද්ගල නාශක බිම්බෝම්බ 137 ක්, පුපරා නොගිය පුපුරන ද්‍රව්‍ය 24 ක්, ඩෙටනේටර් 18 ක්, පතොරම් 243 ක් සහ යුද්ධයේදී ඉතිරි වූ අනෙකුත් පුපුරන ද්‍රව්‍ය සොයාගැනීමට මෙම කණ්ඩායම සමත්ව ඇත. එසේ නිසැක කරන ලද ප්‍රදේශ තුළ අවතැන්ව සිටි පවුල් 415කට අයත් සාමාජිකයන් 1945 දෙනෙකු ඔවුන්ගේ මුල් ඉඩම්වල මේ වනවිට පදිංචි කරවා ඇත.
මාර්ෂල් ලිගර්සි ආයතනය සාමාජිකයන් 17 දෙනෙකුගෙන් සහ හත් දෙනෙකුගෙන් සමන්විත අන්තර්ජාතික උපදේශක කමිටුවක් හරහා ශ්‍රී ලංකා යුද හමුදා බිම්වෙඩි ඉවත් කිරීමේ ක්‍රියාන්විතය සඳහා 2011 වර්ෂයේ සිට කාර්මික සහාය ලබාදෙන ආයතනයකි. ඔවුහු ලොව පුරා බිම්බෝම්බ ඉවත් කිරීම පිළිබඳ කාර්මික දැනුම ලබාදෙන ආයතනයක් ලෙස කටයුතු කරති.
බිම්වෙඩි හඳුනාගැනීමේ ක්‍රියාන්විතයට ඉතා තියුණු ඉවක් සහ බුද්ධියක් සහිත සුනඛයෙකු වන අල්වින් මේ වනවිට වයස අවුරුදු හතයි, මාස හතරක් පමණ වන බෙල්ජියම් මැලිනොයිස් වර්ගයට අයත් සුනඛයෙකි.