යතුරුපැදි ධාවනයේදී භාවිත කරන ආරක්ෂක හිස්වැසුම් සඳහා මේ වසරේ අගෝස්තු පළමුවැනිදා සිට එස්.එල්.එස්. සහතිකය අනිවාර්ය කර තිබුණද, මෙතෙක් එම නීතිය ක්‍රියාත්මක නොවන බව පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරයි.
2003 අංක 9 දරණ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරී පනතේ 12 (2) වගන්තිය යටතේ ක්‍රියාත්මක වෙමින් මෙරට තුළ අලෙවි කරන සියලුම හිස්වැසුම්වලට මේ වසරේ අගෝස්තු පළමු වැනිදා සිට එස්.එල්.එස්. ලාංඡනය තිබීම අනිවාර්ය කරමින් ගැසට් නිවේදනයක් නිකුත් වූ බවද එම සංගමයේ සභාපති රංජිත් විතානගේ මහතා සඳහන් කළේය.
මේ සඳහා අලෙවිකරුවන්ට සූදානම් වීම සඳහා 2015 වසරේ ජූලි 16 වැනිදා අංක 1923/65 දරණ ගැසට් නිවේදනය නිකුත් කළ බවත්, මේ අනුව හිස්වැසුම් රට තුළට ගෙන්වන හා රට තුළ නිෂ්පාදනය කරන සමාගම්වලට ශ්‍රී ලංකා ප්‍රමිති සහතිකය ලබාගැනීමට වසරකට වැඩි කාලයක් තිබූ බවත් ඔහු පවසා සිටියේය.
මේ නිසා අගෝස්තු පළමු වැනිදා සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කළ නීතිය කඩිනමින් රට තුළ ක්‍රියාත්මක කර මෙරට යතුරුපැදිකරුවන්ගේ හා පසුපැදිකරුවන්ගේ ජීවිත සුරක්ෂිත කරන ලෙසද එම සංගමය පාරිභෝගික අධිකාරියට ලිපියක් යවමින් ඉල්ලා සිටියි.