මුස්ලිම් බැතිමතුන්ගේ උතුම් දිනයක් වන රාමසාන් යෙදී තිබෙන හෙට දිනයේ, ලංවිම නඩත්තු කටයුතු වෙනුවෙන් කිසිදු ආකාරයක විදුලි කප්පාදුවක් සිදු නොකරන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා නිවේදනයක් නිකුත් කරමින් පැවසීය. ලංකා විදුලිබල මණ්ඩලය විසින් හෙට දිනයේ සිදුකිරීමට සැලසුම් කරතිබූ සිය නඩත්තු කටයුතු කිසිවක් හෙට දිනයේ සිදු නොකරන ලෙසට තමා අදාළ අංශ වෙත උපදෙස් දුන් බවට අමාත්‍ය සියඹලාපිටිය මහතා අවධාරණය කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය මහතා...,
"විදුලිබල මණ්ඩලය සමාන්‍යයෙන් නඩත්තු කටයුතු සිදුකරන්නේ රාජකාරි නොමැති රජයේ නිවාඩු දිනයන්වලයි. එසේ කරන්නේ නඩත්තු කටයුතු වෙනුවෙන් විදුලිය කප්පාදු කිරීමෙන් සිදුවන අපහසුතාවන් අවම කිරීමටයි. නමුත් හෙට රජයේ නිවාඩු දිනයක් වුවත්, හෙට මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය සමරන උතුම් දිනයක්. හෙට දිනයේදි විදුලිබල මණ්ඩලය විසින් ප්‍රදේශ ගණනාවක නඩත්තු කටයුතු රාශියක් යොදාගෙන තිබුණා. නමුත් මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය බාධාවකින් තොරව සැමරීම වෙනුවෙන් හෙට කිසිඳ ආකාරයක නඩත්තු කටයුත්තක් වෙනුවෙන් විදුලිය විසන්ධි නොකරන ලෙසට මම ලංකා විදුලිබල මණ්ඩලයේ අදාළ නිධාරීන් දැනුවත් කරනු ලැබුවා. ඒ අනුව හෙට දිනයේදී මුස්ලිම් බැතිමතුන්ට කිසිඳු බාධාවකින් තොරව රාමසාන් සමරන්න හැකිවේවි" යැයි පැවසීය.