ලියාපදිංචි හීලෑ අලි ඇතුන් 55 දෙනෙකු සංචාරකයන් පිනවීම සඳහා සිදුකරන ක්‍රියාකාරකම්වලට යොදාගන්නා බව පරිසර සංරක්ෂණ භාරය සඳහන් කරයි.
හීලෑ අලි ඇතුන් ලියාපදිංචි කිරීමේදී අලි ඇතුන් පෙරහර හා සංස්කෘතික කටයුතුවලට පමණක් යොදාගත හැකි බවට ගිවිසුම් ගත කරන බවත් පරිසර සංරක්ෂණභාරය සඳහන් කරයි.
මීට අමතරව 2006 වසරේ සිට 2009 වසර දක්වා වූ වසර 03 ක කාලය තුළදී හීලෑ අලි ඇතුන් 95 දෙනෙකු මිය ගොස් තිබෙන බවට පරිසර සංවිධාන විසින් සිදුකළ සමීක්ෂණයකදී හෙළි වී තිබෙන බවද එම සංගමයේ අධ්‍යක්ෂක සජීව චාමිකර මහතා සඳහන් කළේය.
එහෙත් සාමාන්‍ය ක්‍රමයට අලි ඇතුන් මිය යා හැක්කේ වසරකට තිදෙනෙකු හෝ හතරදෙනෙකු වැනි සුළු ප්‍රමාණයක් බවත්, එම වසර තුන තුළ මිය ගොස් තිබෙනා අලි ඇතුන්ගේ ප්‍රමාණය අනුව එක් වසරකට අලි ඇතුන් 30කට වැඩි ප්‍රමාණයක් මිය ගොස් තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා සංස්කෘතික කටයුතුවලට, පෙරහර කටයුතුවලට හිලෑ අලි ඇතුන් යොදාගන්නා බවට පොරොන්දු ලබාදී එම අලි ඇතුන් සංචාරකයන් පිනවීමට යොදාගැනීම පිළිබඳව සහ හීලෑ අලි ඇතුන් 95 දෙනෙකු මිය යාම පිළිබඳව රජය වහාම පරීක්ෂණයක් සිදුකර අවශ්‍ය ක්‍රියාමාර්ග ගත යුතු බවද සජීව චාමිකර මහතා සඳහන් කළේය.
මීට අමතරව විවිධ පුද්ගලයන් සතුව සිටි නීතිවිරෝධී ආකාරයට කැලයෙන් අල්ලාගත් අලි ඇතුන් හා පැටවුන් 20 ක් අත්අඩංගුවට ගනු ලැබුවද, තවත් නීතිවිරෝධී ආකාරයට අල්ලාගත් අලි ඇතුන් 47 දෙනෙකු මිනිසුන් සතුව සිටින බවට හෙළි වී තිබෙන බවද පවසා සිටියේය.
මේ නිසා එම 47දෙනාත් අත්අඩංගුවට ගෙන අලි ඇතුන් ළඟ තබාගෙන සිටිනා පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසද එම සංගමය ඉල්ලා සිටී.