හිටපු අගවිනිසුරුවරියගේ නීතිඥයා මහේස්ත්‍රාත්ට දැනුම් දෙයි
හිටපු අගවිනිසුරු ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ HNB බැංකුවේ ගිණුම් පිළිබඳ විස්තර ඉංග්‍රීසි පුවත්පතකට, පාර්ලිමේන්තුවට මෙන්ම මුද්‍රණය කර අළුත්කඩේ අධිකරණ සංකීර්ණය අසල බෙදාහැරීමට, වෙනත් පාර්ශ්ව අතට ගියේ කෙසේදැයි ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා අධිකරණයේදී ප්‍රශ්න කර සිටියේය.
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මිය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා, මේ අනුව හිටපු අගවිනිසුරුවරියගේ බැංකු ගිණුම පිළිබඳ රහස්‍යභාවය ආරක්ෂා නොකිරීමෙන් NDB බැංකුව දඬුවම් ලැබිය හැකි වරදක් සිදුකොට ඇති බවද පෙන්වා දුන්නේය.
NDB බැංකුවේ ගිණුම් පිළිබඳ තොරතුරු සිය වත්කම් ප්‍රකාශ මගින් හෙළිනොකළ බව සඳහන් කරමින් අල්ලස් කොමිසම ඇයට එරෙහිව පවරා ඇති නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී නීතිඥවරයා මේ බව හෙළිකළේය.
ආචාර්ය ශිරාණි බණ්ඩාරනායක මහත්මියගේ බැංකු ගිණුම පිළිබඳ තොරතුරු පරීක්ෂා කිරීම සඳහා ඉඩ ලබාදෙන ලෙස අධිකරණය ලබාදුන් නියෝග මත එම ගිණුම පරීක්ෂා කිරීමට එහි ගියද, බැංකු නිලධාරීන් අධිකරණ නියෝග තඹදොයිතුවකටවත් ගණන් නොගෙන බැංකු ගිණුම පරීක්ෂා කිරීමට ඉඩ ලබාදිය නොහැකි බව දැනුම් දුන්නේ යැයි කී ලද්දුවහෙට්ටි මහතා, එම ගිණුම පරීක්ෂා කිරීමට ඉඩලබාදීමට ඇමෙරිකානු ඩොලර් 200 ක මුදලක් ඉල්ලා සිටි බවද පැවසීය.
NDB බැංකුවේ ගිණුම් පිළිබඳ විස්තර 2010, 2011 සහ 2012 වසරවල වත්කම් ප්‍රකාශවල ඇතුළත් නොකිරීමෙන් අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකොට ඇති බවට අල්ලස් කොමිසම විසින් මෙම නඩුව පවරා ඇත.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී හිටපු අගවිනිසුරුවරිය අධිකරණයට පැමිණ එහි විත්ති කූඩුවට ගොඩ වී ඇයට එරෙහි නඩු විභාගයට මුහුණ දුන්නාය.