හිටපු අග්‍රාමාත්‍යවරයාගේ පුත් මධ්‍යම පළාත් සභා මන්ත්‍රී අනුරාධ ලංකා ජයරත්න මහතා ඇතුළු ගම්පොළ නගර සභා මන්ත්‍රීවරුන් දෙදෙනෙකුට, උඩපළාත ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකුට හා ප්‍රභූ ආරක්ෂක නිලධාරියෙකුට මෙරටින් පිටවීම තහනම් කරමින් ගම්පොළ මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා සිකුරාදා (16දා) නියෝගයක් නිකුත් කර ඇත.
පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්‍රචාරණ කටයුතු වෙනුවෙන් ගම්පොළ නගරයේ ඉදිකර තිබූ පක්ෂ කාර්යාලයට පහරදී අලාභ හානි කිරීම, අයුතු ඇතුළුවීම හා වෙඩි තබා බිය වැද්දීම යන චෝදනාවන්ට අවශ්‍යව ඇති මෙම පිරිස මෙතෙක් අධිකරණය වෙත ඉදිරිපත් නොවීම මත ගම්පොළ පොලීසිය අධිකරණය වෙත සිදුකළ කරුණු දැක්වීම අනුව මෙම නියෝගය ලබාදී ඇත.
මෙම සිද්ධියට අදාළ ගම්පොළ එ.ජ.නි.ස. නාගරික මන්ත්‍රී දර්ශන නයන තරංග නමැති අය පමණක් මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගත කර ඇති අතර, අනෙකුත් සැකකරුවන් වන උඩපළාත ප්‍රාදේශීය සභා එ.ජ.නි.ස. මන්ත්‍රී සුමුදු බණ්ඩාර, ගම්පොල නාගරික මන්ත්‍රී තරංග විට්ටච්චි, ප්‍රභූ ආරක්ෂක සේවා පොලිස් නිලධාරී බණ්ඩාර ඇතුළු පිරිසට මෙසේ රටින් පිටවීමට තහනම් කොට නියෝග පනවා ඇත.
මෙයට සම්බන්ධව අනෙකුත් සැකකරුවන් හා වාහන අත්අඩංගුවට ගැනීම සඳහා ගම්පොළ පොලීසියේ පොලිස් කණ්ඩායම් දෙකක් යොදවා පරීක්ෂණ සිදුකරයි.