ඔක්තෝම්බර් පළමුවැනිදා පමණක් ළමා දිනය සැමරීමේ සංස්කෘතිය අවසන් කළ යුතු බව ගරු වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා පවසයි. ලෝක ළමා දිනය සැමරීම සඳහා සංවිධානය කළ අධ්‍යාපනික වැඩමුළුවකින් පසුව මාධ්‍ය වෙත ඔහු ඊයේ (01දා) අදහස් දක්වමිනි.
“ළමයින් ගැන අද අපි මීට වඩා අවධානයක් යොමු කළ යුතුයි. ඒ සඳහා එක් දිනක් පමණක් ළමා දිනය සමරන්නේ නැතිව දින 360දීම අපි ළමා දිනය සැමරිය යුතුයි. දරුවන්ට මොනවාහරි වුණාට පස්සේ කෑගහලා පාරවල්වල ගිහිල්ලා වැඩක් නැහැ. ඒක නොවෙන්න වැඩපිළිවෙළක් අපි හදන්න ඕන. විශේෂයෙන්ම අද අපි බලාපොරොත්තු වෙන්නේ දරුවන්ගේ වටිනාකම සියලු දෙනාටම පෙන්වා දෙන්න. මේ මගේ දරුවා නෙවෙයි, වෙනකෙනෙක්ගේ කියන ආකල්පෙන් මිදී සෑම දරුවකුගේම අනාගතය ගැන අපි සිතිය යුතුයි. ආරක්ෂාව ගැන සිතිය යුතුයි” යැයිද එහිදී අමාත්‍ය අර්ජුන රණතුංග මැතිතුමා වැඩිදුරටත් පැවසීය.