හැටන් දික්ඔය නගර සභාවට වසර හතළිහක් පුරා ජන්දය ප්‍රකාශ කළ හැටන් ගාමිණීපුර පහළ කොටසේ ජන්ද දායකයන් හයසිය දෙනෙකු පමණ මෙවර ජන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටින බවට එම ගම්වාසීහු අවධාරණය කර සිටිති.
සිය ගම්මානයේදී ඊයේ (30දා) උදෑසන විරෝධතාවයක් දක්වමින් එම ගමිවාසීන් අවධාරණය කර සිටියේ තමන් මේ වනවිට හැටන් දික්ඔය නගර සභා සීමාවෙන් ඉවත් කර කිලෝ මීටර් දහයක් පමණ එපිටින් වූ නොර්වුඩ් ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට ඇතුළත් කර ඇති බවයි.
නිල ජන්ද පත්‍රිකා ලැබීමෙන් පසු තමන් ඒ පිළිබඳව දැනගත් බවත්, තම නිවස ඉදිරිපිට පදිංචිකරුවන් හැටන් දික්ඔය නගර සභා සීමාවටත්, නිවස පිටුපස පදිංචි අය නොර්වුඩ් ප්‍රාදේශීය සභාව වශයෙන් කොට්ඨාස ක්‍රමයට සීමා නිර්ණය කිරීම අසාධාරණ බවත් ඔවුහු පවසති.
මේ හේතුවෙන් කිලෝමීටර් කාලක් පමණ ආසන්නයේ පිහිටි හැටන් දික්ඔය නගර සභාව වෙනුවට කිලෝමීටර් දහයක් එපිටින් වූ නොර්වුඩ් ප්‍රාදේශීය සභාවට තමන්ගේ අවශ්‍යතාවයන් සිදුකර ගැනීමට යෑමට සිදුවි ඇති බව ගාමිණීපුර ජනතාව පවසති.