හම්බන්තොටදී පැවැති උද්ඝෝෂණයකදී අධිකරණ නියෝග කඩකිරීමේ චෝදනාව මත පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ ඇතුළු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳ ඒකාබද්ධ විපක්ෂය අද පාර්ලිමේන්තුවේදී විරෝධය පළ කළේය.
මහජනතාව සමග එක්ව විරෝධතා පැවැත්වීමේ බලය මහජන නියෝජිතයන් ලෙස මන්ත්රීවරුන්ට ඇති බවත් මෙම අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් වහාම සොයාබලන ලෙසත් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක දිනේෂ් ගුණවර්ධන මහතා කථානායක කරු ජයසූරිය මහතාගෙන් ඉල්ලා සිටියේය.
මේ අවස්ථාවේදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් සහ ආණ්ඩු පක්ෂ මන්ත්රී මුජුබර් රහ්මාන් මහතාගේ දැඩි වාග් ප්රහාර හමුවේ පාර්ලිමේන්තුව උණුසුම් විය.