තම කණ්ඩායමේ ආණ්ඩුවක් පැමිණි විට හම්බන්තොට ඇති වූ සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳ පුළුල් පරීක්ෂණයක් සිදුකරන බවත්, ඒ අනුව විශේෂ පොලිස් කොමිෂමක් මගින් ඔවුන්ගේ දුරකථන අංක ගැන හොඳින් සොයා බලා ඔවුන්ට විරුද්ධව කටයුතු කරන බවත්, ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසූයේ හම්බන්තොට සිද්ධියට අදාළව බන්ධනාගාර ගතකර සිටි නාමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස අධිකරණයට ඉදිරිපත් කිරීමට අද (16දා) හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයේ පැවති නඩු විභාගයට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් පළකරමිනි.
එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ මන්ත්‍රීවරයා,
"රාජ්‍ය සම්පත් විකුණනවට එරෙහිව මහජනතාව පාරට බැස්සම කාගෙහරි දේශපාලඥයෙකුගේ කීමට අහිංසක මිනිස්සු අත්අඩංගුවට අරගෙන ඒ අයට හිංසා කරනවා නම් ඒ පිළිබඳව සොයා බැලීම රජයක වගකිමක්. ඒක මේ ආණ්ඩුවෙන් සිදුවෙන්නේ නැති නම් අපි අපේ ආණ්ඩුවක් ආවම හරි කරන්න ඕනේ.
ඒක අපේ වගකීමක් වෙනවා. හම්බන්තොට ඇතුළේ වුණ සිද්ධිය සම්බන්ධයෙන් ආණ්ඩුවේ කෙනෙකුත් පසුපසින් සිටිනවා කියන එක පේන්න තියෙනවා. පොලීසිය වුණත් කටයුතු කළ ආකාරය ගැන අපි සොයා බලනවා" යැයි පැවසීය.
සූරියවැව ණුවන් ජයසේකර