ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ජයග්‍රහණය කර ඇති පළාත් පාලන ආයතනයන්හි සභාපති ධුරය තම පක්ෂයට නොදී වෙනත් පාර්ශ්වයන් සමග සන්ධානගත වීමට එක්සත් ජාතික පක්ෂය උත්සාහ දරයි නම් එක්සත් ජාතික පක්ෂයට දේශපාලන වශයෙන් හොඳ පාඩමක් ඉගැන්වීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්රස් නායක අමාත්‍ය රවුෆ් හකීම් මහතා සඳහන් කළේය.
තම පක්ෂය හැකිතාක් දුරට ආණ්ඩුව සමග එක්ව ගමන් කිරීමට කටයුතු කරන අතර මුස්ලිම් කොංග්‍රසය බැලහීනයන් කිරීමට ආණ්ඩුවට නොහැකි බවද අමාත්‍යවරයා පැවසීය.
පළාත් පාලන මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ මන්ත්‍රීවරුන් දිවුරුම්දීමේ අවස්ථාවට පෛර්දා (24දා) එම පක්ෂ කාර්යාලයේදී එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පවසා සිටියේය.
වැඩිදුරටත් අදහස් දක්වමින් රවුෆ් හකීම් මහතා මෙසේද කීවේය.
"අපේ පක්ෂය මැතිවරණයට පෙර එක්සත් ජාතික පක්ෂය සමග ඇති කර ගත් එකඟතාවන් කඩවීම දිගින් දිගටම සිදුවේ නම් එක්සත් ජාතික පක්ෂය සමග ඉදිරියට යාමට අපහසුයි. අපි ලබාගත් ජයග්‍රහණ සැලකිල්ලට නොගනිමින් වෙනත් පක්ෂ සමග එකතුවී බලය ලබා ගැනීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කරනවා නම් ඒ අයට දේශපාලනික වශයෙන් නිසි පිළිතුරු දීමට අපි කටයුතු කරනවා.
මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයේ ලේකම්වරයාට අමතරව සන්ධානගත වී තරග කරන අනෙකුත් සුහද පක්ෂ සඳහාද ලේකම්වරයකු සිරිකොත පක්ෂ කාර්යාලයේ පත් කළ යුතු බවට එක්සත් ජාතික පක්ෂ නායක අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට මම දැනුම් දුන්නා. එහෙත් එය සිදු කිරීමට අපොහොසත් වෙනවා නම් එක්සත් ජාතික පක්ෂය සමග සන්ධාන ගතවීම යථාර්ථයක් වෙන්නේ නැහැ. මේවා සම්බන්ධයෙන් අවධානය යොමු කරන විට එක්සත් ජාතික පක්ෂය සමග දීගකෑම ඉතා අසීරු කාර්යයක් බව කියන්නට අවශ්‍යයි."