සූර්යය බලයෙන් ලෝක සවාරියේ යෙදෙන සෝලා ඉම්පල්ස් යානය පැසිෆික් සාගරය හරහා සිදුකරන වාර්තාගත ගුවන් තරණයේ දෙවැනි උත්සාහය අරඹා තිබේ.
ජපානයේ නගෝයා ගුවන් තොටුපොළින් ගමන් ඇරඹි යානය පැය 120 කින් පසුව හවායි වෙත ගොඩබෑමට නියමිතය.
සෝලා ඉම්පල්ස් වෙබ් අඩවිය පෙන්වා දෙන්නේ අදාළ යානය නැවත හරවා පැමිණිය නොහැකි සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.
එනම්, කාලගුණය අයහපත් වුවත් එහි ගුවන් නියමු ඇන්ඩ්‍රෙ බෝෂ්බර්ග්ට නැවත යානය හරවා පැමිණීමට අවස්ථාවක් නොමැති බවය.
පැසිෆික් සාගර කලාපයේ කාලගුණය යහපත් වනතුරු සෝලා කණ්ඩායම මාස දෙකක කාලයක් බලා සිටියේය.
යානය මීට පෙර පැසිෆික් සාගර තරණයට උත්සාහ කළත් අයහපත් කාලගුණය හේතුවෙන් යළි හරවා පැමිණීමට නියමුවාට සිදුවිය.