පොදු අපේක්ෂකයෙකු සඳහා සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය අවසන් එකඟතාවකට පැමිණෙයි
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම යන්න තේමා කරගනිමින් සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයෙන් ඉදිරි ජනාධිපතිවරණයට අනිවාර්යයෙන්ම පොදු අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට අවසන් එකඟතාවකට එළඹි බව එහි සභාපති පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ අවධාරණය කළහ. පෙරේදා (19දා) කෝට්ටේ ශ්‍රී නාග විහාරයට රැස්වූ ක්‍රියාකාරී කමිටු රැස්වීමේදී මෙම තීරණයට එළඹි බව උන්වහන්සේ පැවසූහ.
ඒ අනුව මේ මස 26 වැනිදින මහනුවර නගරයෙන් ආරම්භ වන ප්‍රසිද්ධ සම්මන්ත්‍රණයකින් පසුව දිවයිනේ සියලුම ප්‍ර‘දේශ ආවරණය වන අයුරින් සම්මන්ත්රණ පැවැත්වීමටත්, ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, කලාකරුවන්, වෘත්තීයවේදීන්, වෘත්තීය සමිති, ධීවර, ගොවි, ශිෂ්‍ය සංවිධාන, තරුණ සංවිධාන ඇතුළු සියලුම සංවිධාන සමග කඩිනමින් සාකච්ඡා කිරීමටත් තීරණය කළ බව සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
බෙදී, වෙන් වී, වෙන වෙනම ජනාධිපතිවරණයට ඉදිරිපත් වුවහොත් ජයග්‍රහණයක් ලැබීම අසීරු බැවින් ඒ සඳහා සියලුම දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන සමග පොදු එකඟතාවකට එළඹීමේ අවශ්‍යතාව දීර්ඝව සාකච්ඡා කළ බවද උන්වහන්සේ කීහ.