සේයා සදෙව්මි දැරිය පැහැරගෙන ගොස් දූෂණය කර ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ විත්තිකරුවූ සමන් ජයලත් නමැත්තාට මරණ දඬුවම හා වසර හැටක බරපතල වැඩසහිත සිරදඬුවම් නියම වීය.
විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු කළ මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය, විත්තිකරුට දැරියගේ මරණය සිදුකිරීමේ චෝදනාවට මරණ දඬුවම හා අනෙකුත් චෝදනා සඳහා වසර හැටක බරපතළ වැඩසහිත සිරදඬුවමක් හා රුපියල් 45000 ක දඩයක් නියම කළාය.
දඬුවම් නියම වූ ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් නමැති විත්තිකරු ඔහුටනියම කෙරුණු දඩය නොගෙවන්නේ නම් තවත් වසර තුනක සිරදඬුවමකටද ලක්කෙරිණි.
විත්තිකරුට දඬුවම් නියම කිරීමට පෙර සේයාගේ මව හා පියා අධිකරණය ඉදිරියට කැඳවූ විනිසුරුවරිය මෙය සමාජයට කතා කරන අවස්ථාවක් බව සඳහන් කරමින් ඔවුන්ගේ හැසිරීම කිසිසේත් බලාපොරොත්තු නොවන බවත්, ඔවුන්ගේ එම හැසිරීම චූදිතයාට වරදක් කිරීමට අවස්ථාව උදාකරදී ඇති බවත් සඳහන් කරමින් අවවාදාත්මක කතාවක් කළාය.
බස්නාහිර පළාත්බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විත්තිකරු සියලු චෝදනාවන්ට වරදකරු බව තීරණය කර ඇති බව ප්‍රකාශ කර දඬුවම් නියම කිරීමට පෙර විත්තිකරුට කීමට යමක් ඇද්දැයි විමසුවාය.
ඒ අවස්ථාවේ විත්තිකාර සමන් ජයලත් යන අය පැවසුවේ,
‘‘මේ වගේ අපරාධ සිදුවන්නේ අරක්කු හා දුම්වැටි පානය නිසයි. වෙන කියන්න දෙයක් නැහැ" යනුවෙනි.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 11 වැනිදා කොටදෙනියාවේදී සේයා දැරිය නිදි ඇඳේ සිටියදී පැහැර ගැනීමට ලක්වූ අතර,13 වැනිදා ඇගේ නිරුවත් මළසිරුර නිවසට තරමක් නුදුරින් ඕතර වෙල් යායේ අරවින්දවත්ත ඇළ මාර්ගයක් අසබඩ තිබීයදී සොයාගනු ලැබීය.
මෙම අපරාධය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු ඉලන්දාරි පේඩිගේ සමන් ජයලත් යන අයට එරෙහිව නීතිපතිවරයා විසින් ඉකුත් නොවැම්බර් මස 23 වැනිදා ලඝු නොවන නඩු විභාගයක් නොපවත්වා කෙලින්ම මහාධිකරණය හමුවේ අධිචෝදනා නගනු ලැබූයේ මෙම සිද්ධිය පිළිබඳව රටපුරා නැගුණු විරෝධය සැලකිල්ලට ගනිමින් නීතිපතිවරයාට ඇති සුවිශේෂී බලතල යටතේය.
ඉකුත් 26 වැනිදා පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් අයේෂා ජිනසේන මෙනෙවිය සිය දේශනය කරමින් පැමිණිල්ල විත්තිකරුගේ පාපොච්චාරණයේ සඳහන් කරුණු ස්වාධීන සාක්ෂිවලින් සාධාරණ සැකයෙන් ඔබ්බට යමින් ඔප්පු කර ඇති බව අධිකරණයේ අවධානයට ලක්කළාය.
අපරාධය සිදුවී දින 72 ක් ගෙවෙන දිනයේදී විත්තිකරුට එරෙහිව අධිචෝදනා බාරදෙනු ලැබූ අතර, අපරාධයෙන් දින 166 ගතවන දිනයදානඩුවේ විභාගය සම්පූර්ණයෙන් අවසන් කෙරිණි. අපරාධය සිදුවී දින 184 ගෙවුණු දින, සේයාගේ වයස අවුරුදු පහකුත් මාස හයක් පිරෙන දින එනම් අද (15දා) තීන්දුව සඳහා දින නියම කර තිබිණි.
දඬුවම් නියම කිරීමට පෙර දෙමවුපියන් වෙත අදහස් දැක්වූ මහාධිකරණ විනිසුරුවරිය,
"දෙමාපියන් වුවත් නිවසේදී නිදහස භාවිත කළ යුත්තේ කාලය පරිසරය ගැන ගළපාගෙනයි. දරුවන් රැකබලාගැනීමේ වගකීම දෙමවුපියන්ට පැවරෙනවා. වත්මනේ දරුවන්ට අනාරක්ෂිත තත්ත්වයක් උද්ගත වෙලා. මව යන භූමිකාව විශේෂිතයි. වත්මන් මවුවරුන් රාත්‍රිය වනතුරු රූපවාහිනී බලා නින්දට යන අවස්ථාවලදී මෙවැනි ඉලක්ක සපුරාගැනීමට බාහිර පුද්ගලයන් මාන බලන අවස්ථා තියෙනවා. එමෙන්ම චූදිත ඉදිරිපත් කළ කරුණු දැඩි දඬුවම් ලබාදීම සලකා බැලීමට තරම් කරුණු නොවෙයි." යැයිපැවසුවාය.
අනතුරුව අධිකරණයේ විදුලි පංකා හා විදුලි පහන් ආලෝකය නිවා දමනු ලැබීය. ඒ සමගම අධිකරණ ශාලාව දැඩි නිහඬතාවයක ගිලී ගියේය. මහාධිකරණ විනිසුරුවරිය සිය තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විත්තිකරු වරදකරු කරනු ලැබූ පළමු චෝදනාවට වසර විස්සක බරපතළ වැඩසහිත සිරදඬුවමක් හා රුපියල් දසදහසක දඩයක්ද, දෙවැනි චෝදනාවට වසර විස්සක බරපතළ වැඩසහිත සිරදඬුවමක් හා රුපියල් විසිපන්දහසක දඩයක්ද, තෙවැනි චෝදනාවට වසර විස්සක බරපතළ වැඩසහිත සිරදඬුවමක් හා රුපියල් දසදහසක දඩයක්ද නියම කරමින් දඩ මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් සිරදඬුවම් නියම කළාය.
සිවුවැනි චෝදනාව වූ දැරියගේ මරණය සිදුකිරීමේ චෝදනාවට ජනාධිපතිවරයා නියම කරන වේලාවක හා ස්ථානයකදී ගෙල වැලලා ප්‍රාණය නිරුද්ධවනතුරු තැබීමට නියෝග කරමින් තීන්දුව බලාත්මක කරමින් සිය අත්සන තබා විනිශ්චයාසනයෙන් බැස ගියේ අස්සන තැබූ පෑන කඩා දැමීමෙන් අනතුරුවය.
මේ සමගම ඉතා කෙටි කාලයත් තුළදී විභාගය අවසන් කෙරුණු නඩුවක් ලෙස සේයා ඝාතන නඩුව ඉතිහාසයට එක්විය.
තීන්දුව ප්‍රකාශයට පත්කෙරුණු අවස්ථාවට සේයා දැරියගේ මව, පියා, සීයා හා ආච්චිද අධිකරණයට පැමිණ සිටි අතර, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ලසන්ත රත්නායක හා උපපරීක්ෂක එස්.එම්. පොල්වත්ත යන මහත්වරුද පැමිණ සිටියහ.