පසුගිය ජනාධිපතිවරණයේදී බෙදා දී ඇතැයි පැවසෙන සිල් රෙදි තමා නොදුටු බව බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතා අද (13දා) පැවසීය. තමා නියෝජනය කරන මහරගම ආසනයට එවැනි සිල් රෙදි ගෙනවිත් නොතිබුණු බවත්, එවැනි සිල් රෙදි තමා නොබෙදූ බවත් මහ ඇමතිවරයා කීවේය.
බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා,
“මම ඕනදෙයක් ගැන කෙලින් කතා කරන මිනිහෙක්. හුඟක් අය කතා කරන්නේ ඇත්ත වහගෙන. විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවෙන් ලබා දිය හැකි උපරිම මුදල මිලියන සීයයි. නමුත් සිල් රෙදි සඳහා මිලියන 600ක් ලබාදී තිබෙනවා.මිලියන සීයට වඩා දෙන්න බැහැ කියලා ඒ අවස්ථාවේදි අනූෂ පැල්පිට මහතා හිටපු ජනාධිපතිවරයාට කිව්ව නම් මේ ප්‍රශ්න ඇති වෙන්නේ නැහැ. ඒක තමයි ඇත්ත කතාව. ඒ වගේම මැතිවරණය අවස්ථාවේදී සිල් රෙදි බෙදන්න එපා කියලා මැතිවරණ කොමසාරිස්වරයා පැහැදිලිව කියා තිබෙනවා. මේක නිලධාරීන්ට හොඳ පාඩමක්. හදවතින්ම මම එතුමන්ලා දෙදෙනා ගැන මම කනගාටු වෙනවා. රාජ්‍ය නිලධාරීන් තමන්ගේ සීමාවේ ඉඳන් වැඩ කළා නම් ඉවරයි.
සිල් රෙදි මට නම් ලැබුණෙ නැහැ.මම නම් දැක්කෙවත් නැහැ.මමත් පළාත් සභා මන්ත්‍රීවරයෙකු විදියට ඒ අවස්ථාවේ හිටියේ.නමුත් මට නම් ලැබුණේ නැහැ. මම ඇත්ත කියන්නේ.මට ලැබුණා නම් මම බෙදුවා කියනවා. ඔය කියන එකක්වත් මැතිවරණ කාලෙදි අපිට නම් ආවේ නැහැ. වෙන කාටවත් ලැබුණද කියන්න මම නම් දන්නේ නැහැ.“යනුවෙන් පවසා සිටියේය.