දේශීයව නිෂ්පාදනය කරන සීනි කිලෝවක් රුපියල් 81කට අලෙවි කර රජයට විශාල පාඩුවක් සිදුකර ඇතැයි චෝදනාවක් එල්ල කළද, පසුගිය මාසයේදී පැල්වත්ත සීනි කිලෝවක් අලෙවි කළේ රුපියල් 102 යි ශත 10 ක මුදලකට බව කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශ ලේකම් ටී.එම්.කේ.බී. තෙන්නකෝන් මහතා සඳහන් කළේය.
මීට අමතරව සෙවණගල සීනි සමාගමේ සීනි කිලෝවක් අලෙවි කරනු ලැබුවේ රුපියල් 102 ශත 25 ක මුදලකට බවත්, මෙම සියලුම විකිණීම් සිදුකරනු ලැබුවේ නියමිත ටෙන්ඩර් කැඳවීම්වලට අනුව බවත් ඔහු පවසා සිටියේය.
ඊයේ (11දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ එතනෝල් ලීටරයක් සඳහා රුපියල් 300 ක ආනයන බද්දක් පැනවීමට ආසන්න මොහොතේදී එතනෝල් ලීටරයක් රුපියල් 250කට හා රුපියල් 275කට අලෙවි කර රජයට විශාල පාඩුවක් සිදුකළ බවටද චෝදනා එල්ල කරමින් සිටින බවයි.
එහෙත් පසුගිය වසරේදී හා මේ වසරේදී එතනෝල් ලීටරයක් අලෙවි කර තිබෙන්නේ රුපියල් 300 ඉක්මවූ මුදලකට බවද ඒ මහතා පවසා සිටියේය.
පසුගිය මාසයේදී පැල්වත්ත සීනි සමාගමේ එතනෝල් ලීටරයක් රුපියල් 310කටත්, සෙවණගල සීනි සමාගමේ එතනෝල් ලීටරයක් රුපියල් 305කටත් අලෙවි කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.