ශ්‍රම බළකායේ සහ පුරුෂ පක්ෂයේ සියදිවි නසා ගැනීම් වර්ධනය වී තිබෙ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල මහතා පවසයි. එසේම ලෝකයේ තත්පර 40ට වරක් සියදිවි නසාගැනීමක් වාර්තා වෙන බවත්, සියදිවි නසාගන්නා රටවල් අතර ශ්‍රී ලංකාවට 22වැනි ස්ථානය හිමිව තිබෙන බවත් ඔහු පැවැසීය.
අද (14දා) පෙරවරුවේ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේදී පැවැති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවැසීය.
“ලෝකයේ සෑම තත්පර 40කට වරක් සියදිවි නසාගැනීමක් හේතුවෙන් පුද්ගලයෙකු මරණයට පත්වෙනවා. සියදිවි නසාගැනීම ප්‍රධාන මහජන සෞඛ්‍ය ගැටලුවක්. ලෝක සෞඛ්‍ය සංවිධානයේ සියදිවි නසාගැනීම් වැළැක්වීමේ දත්තවලට අනුව වාර්ෂිකව ලක්ෂ 08ක පිරිසක් සියදිවි නසාගැනීමෙන් ජීවිතක්ෂයට පත්වෙනවා. 2015 වසරේදී ශ්‍රී ලංකාව තුළ පුද්ගලයන් 3,000ක් සියදිවි නසාගෙන තියෙනවා. ඔවුන්ගෙන් බහුතරය පුරුෂ පක්ෂය. පවුල් ආරවුල්, ආදර සබඳතා බිඳ වැටීම්, නිදන්ගත රෝග තත්ත්වයන්, කායික දුබලතා, මානසික රෝග, ආර්ථික අහේනිය, මධ්‍යසාර භාවිතය වැනි හේතු සියදිවි නසාගැනීමට බලපා ඇති බව සොයාගෙන තිබෙනවා.
කෘෂි රසායන භාවිතයද සියදිවි නසාගැනීම්වලට බලපා තිබෙනවා. කෘෂි රසායන සරලව මිලදී ගැනීමේ ක්‍රමවේදය නතර කළ යුතුයි. මධ්‍යසාර පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් ආරම්භ කිරීමද ඉතා වැදගත් වෙනවා. සියලු සියදිවි නසාගැනීම් වළක්වා ගන්න පුළුවන්. අවුරුදු 15-29ත් අතර වයස් කාණ්ඩයේ ශ්‍රම බළකාය සියදිවි නසාගැනීම්වලට ගොදුරු වී තිබීම කනගාටුවට කරුණක්.
සියදිවි නසා ගැනීම්වලින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තර වශයෙන් 22 වැනි ස්ථානයේ පසුවෙනවා. සියදිවි නසාගැනීම අවම කිරීම සඳහා එවැනි අවදානමක් ඇති පුද්ගලයන්ට සමාජීය රැකවරණය ලබාදීම, දරුවන්ට දෙමාපිය රැකවරණය නොමදව ලබාදීම, දරුවන්ට උපදේශන සේවා ස්ථාපිත කිරීම, මානසික රෝග තත්ත්වයන්ගෙන් පෙළෙන්නන්ට කඩිනම් ප්‍රතිකාර ලබාදීම, මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිතය පාලනය කිරීම, කාන්තා ප්රචණ්ඩත්වය අවම කිරීම වැනි කරුණු ක්‍රියාත්මක කිරීම ඉතා වැදගත් වෙනවා" යනුවෙන් පැවසීය.