දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවල බදු ඉහළ දැමීම යටතේ සියලුම දුම්වැටිවල මිල රුපියල් 05කින් ඉහළ දමා එම මුදලට වැට් බදු මුදලක් එකතු කිරීමට රජයට යෝජනා වී ඇතැයි වාර්තා වේ.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ඒකාබද්ධව දුම්කොළ ආශ්රිත නිෂ්පාදනවල බදු මුදල් ඉහළ දැමීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබිණි.
මේ අනුව අදාළ බදු මුදල් ඉහළ දැමීම පිළිබඳ සලකා බැලීමට අමාත්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය කටයුතු කළේය.කැබිනට් අනුකමිටුව විසින් මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ලබාගෙන දුම්වැටියක මිල රුපියල් 05කින් ඉහළ දැමීමට යෝජනා කර තිබෙන අතර, රුපියල් 05කින් ඉහළ දැමූ මුදලට 15% ක වැට් බදු මුදලක් එකතු කිරීමටද යෝජනා කර ඇත.
මේ අනුව, වත්මන් වෙළෙඳ පොලේ රුපියල් 35 ක් ලෙස පවතින දුම්වැටියක මිල රුපියල් 40 දක්වා ඉහළ දමා එයට 15% ක මුදල එකතු කිරීමට නියමිතය.
ඒ අනුව දැනට රුපියල් 35ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 46 දක්වා ඉහළ යනු ඇත.
එසේම, වර්තමානයේ දී රුපියල් 40ක්ව පවතින දුම්වැටියක මිල රුපියල් 5/-කින් ඉහළ දැමූවිට එය රුපියල් 45 දක්වා වැඩිවන අතර, එම මුදලට 15% වැට් බදු මුදලද එකතුවනු ඇත.
කැබිනට් මණ්ඩල අනුකාරක සභාව විසින් ගෙන තිබෙන මෙම තීරණය මේ මස 27 වැනිදා පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති බවද 'අද'ට වාර්තාවෙයි.