සාලාව හමුදා අවි ගබඩාව තුළ සිදු වූ පිපිරීම නිසා නිවාස අහිමි වූවන්ට ලබාදෙන නවාතැන් දීමනාව හා වන්දි මුදල් නිසි ලෙස නොලැබෙන බව සාලාව අවි ගබඩාව පිපිරීම නිසා අවතැන් වූ ජනතා එකමුතුව සඳහන් කරයි.
අදාළ පිපිරීම නිසා නිවාස 1700කට ආසන්න ප්රමාණයකට හානි සිදු වූ බවත්, හානි සඳහා වන්දි ගණනය කර තක්සේරු වාර්තා සකස් කර මාස 03කට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් වන්දි මුදල් ලබා දී තිබෙන්නේ ඉතාමත් සුළු පිරිසකට පමණක් බවත් එම සංවිධානය පෙන්වා දෙයි.
වන්දි ලබාදීම අදියර කිහිපයකින් සිදුවන බවට බලධාරීන් සඳහන් කර තිබෙන බවත්, මේ නිසා වන්දි ලැබුණු සුළු පිරිසට පවා ලැබී තිබෙන්නේ එක් වාරික මුදලක් පමණක් බවත් එම සංවිධානය සඳහන් කරයි.
නිවාස සම්පූර්ණයෙන්ම විනාශ වූ නිවෙස් හිමියන්ට නිවෙස් ඉදි කරගන්නා තුරු මාසිකව රුපියල් 50,000 ක මුදලක් ලබාදෙන බවට සඳහන් කළද අගෝස්තු මාසයට හිමි මුදල් ලබාදීම් තවමත් සිදුවන බවත්, සැප්තැම්බර් මාසයට අදාළ මුදල පිළිබඳ මෙතෙක් කිසිදු සඳහනක් හෝ කර නොමැති බවත් එම සංවිධානයේ නියෝජිතයෙක් සඳහන් කළේය. සම්පූර්ණ නිවාස අහිමි වූ ප්රමාණය 136 දෙනෙකු බවත්, මේ නිසා මෙම පිරිස දැඩි අසරණ තත්ත්වයකට පත්ව සිටින බවත් ඔහු කීය.
ජුනි 05 වැනිදා සිදු වූ මෙම පිපිරීම නිසා අවතැන් වූ ජනතාවට සහන සැලසීමට මුදල් පවා වෙන් කළ බවට ආණ්ඩුව පසුගිය මාස කිහිපය පුරාම සඳහන් කළ බවද එම සංවිධානය සඳහන් කරයි.