යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසිය හැකි වාහන ප්‍රමාණය සීමාකිරීමට විරෝධය පළකරමින් යාල සෆාරි ජීප් රථ හිමියන් හා ප්‍රදේශයේ සංචාරක කර්මාන්තයේ නියැළෙන පිරිස් එකතුවී අද (23දා) විරෝධතාවයක් ආරම්භ කළේය.
යාල ජාතික උද්‍යානයේ කලාප අංක 1වන සතුන්ගේ ස්වභාවික චර්යයා රටාවන් හා වාසස්ථාන යථා තත්ත්වයට පත්වීම සඳහා සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා වසා තබා යළි අද සිට යාල සංචාරකයන් සඳහා විවෘර්ත කිරීමට වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබුණි .
නමුත් සෆාරි ජීප් රථ ආරම්භ කළ මෙම විරෝධතාවය නිසා යාල තුළට සෆාරි ජීප් රථ මගින් ඇතුළු වීමට සංචාරකයන් හට නොහැකි වූ අතර, තම පුද්ගලික වාහන මගින් පැමිණි සංචාරකයින් පමණක් යාලට ඇතුළු වූ බව යාල උද්‍යාන භාරකරු සියාසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය .යාල ජාතික වනෝද්‍යානයට දිනකට පිවිසෙන වාහන ප්‍රමාණය වැඩි වීම නිසා එහි පරිසර පද්ධතියට සිදුවන හානිය අවම කරගැනීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් මෙම පියවර ගෙන තිබේ .
මේ අනුව යාල කලාප අංක 1 සඳහා දිනකට එක්වාරයකට වාහන 100 දක්වා සීමා කර ඇති අතර, ඒ අනුව උදේ , දවල් ,සවස යන වාර තුනටම යාල ජාතික වනෝද්‍යානයට ඇතුළු කළ හැක්කේ වාහන තුන්සියයකට පමණක් වේ .
ඊට අමතරව පාසල් සිසුන් හා දුරබැහැර සිට බස් රථ මගින් පිවිසෙන දේශීය සංචාරකයන් සදහාද මෙම සීමාවෙන් ඉක්මවා ඇතුළු වීමට අවස්ථාව ලබාදෙන බව වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සැලසුම් අධ්‍යක්ෂක රන්ජන් මාරසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.
එමෙන්ම එම කාලය තුළ කටගමුව පිවිසුමෙන් වාහන 50ක් සදහා ඇතුළු වීමට අවසර ලබා දී තිබෙන බවත්, සංචාරකයන් පැමිණ ලැබෙන ලාබයට වඩා මෙය ආරකෂා කරගතයුතු යටිතල පහසුමකක් ලෙස කටයුතුකරන බවත් රන්ජන් මාරසිංහ මහතා පෙන්වා දුන්නේය.
කෙසේනමුත් මෙමගින් ජීප් රථ හිමියන්ගේ රැකියා කරගෙන යාමේ තත්ත්වයට තර්ජනයක් ඇතිවී තිබෙන බවත්, එමෙන්ම පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ද මේ නිසා දැඩි අපහසුතාවයකට පත් වන බවත් යාල ජීප් රථ හිමියන්ගේ සංගමයේ සබාපති තරිදු ජයසිංහ මහතා ප්‍රකාශ කර සිටියේය.