ශ්රී ලංකාව තුළ ජාතීන් හා ආගම් අතර සහජීවනය ඇති කිරීමටනම් සියලු දෙනා ඉතා කැපවීමෙන් වැඩ කළ යුතුයැයි ජනපති මෛත්රීපාල සිරිසේන මහතා ප්රකාශ කළේය . මහනුවර පොල්ලගොල්ල මහින්ද රාජපක්ෂ රගහල ශ්රවණාගාරයේදී ඊයේ (24 දා) සවස පැවැති ජාතික මිලාදුන් නබි උත්සවයේ ප්රධාන ආරාධිතයා වශයෙන් සහභාගි වෙමින් ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා එසේ කීය .
"1930 ගණන්වල සිංහල සහ මුස්ලිම් ජනතාව අතර කොලාහලයක් ඇති වුණා. 1980 ගණන්වල සිංහල සහ දෙමළ ජනතාව අතර කෝලාහලයක් ඇති වුණා . 1980 ගණන්වල සිට මෑතක් වන තුරුම සිංහල දෙමළ මුස්ලිම් සියලු ජනතාව බැට කෑව එල්ටීටීඊ ත්රස්තවාදීන් කළ විනාශන් තිබුණා. මේවගෙන් අපි පාඩම් ඉගෙන ගෙන තිබෙනවා . මෙම පාඩම් හොදින් අවධානයට ගෙන ජාතින් හා ආගම් අතර වඩාත් සංහිදයාවක් ඇති කරන්න සියලු දෙනා කැපවීමෙන් වැඩ කරන්න ඕන.
මම සති දෙකකට කලින් පාප් වහන්සේ බැහැ දකින්න ගිය වෙලාවේ උන් වහන්සේ මගෙන් ඇහුවා ලෝකයේ ගැටුම් ඇති කරන්නේ කවුද කියලා. මම උත්තරයක් නොදී සිනා මුසු මුහුණෙන් ඉන්නකොට උන් වහන්නේ කිව්වා ගැටුම් ඇති කරන්නේ යුද්ධ කරන අය නොව ආයුධ නිෂ්පාදනය කරන අයයි කියලා .ඉන් අනතුරුව උන් වහන්සේ මගෙන් ඇහුවා ලෝකයේ ආයුධ නිපදවන්නේ කවුද කියලා . ඒ ප්රශ්නයෙන් අපට තේරෙනවා අද ලෝකයට වෙලා තියෙන විනාශයේ තරම . අද ත්රස්තවාදීන්ටත් ත්රස්තවාදීන්ට විරුද්ධව සටන් කරන්නත් ආයුධ නිපදවන්නේ එකම සංවිධානවලින් වීම කණගාටුවට කරුණක්"
මොහොමඩ් ආසික්