ජාඇළ පොලිස් ස්ථානාධිපතිවරයා ලෙස පෙනී සිටිමින් විශ්වවිද්‍යාල සිසුවියක රවටා දූෂණය කර ඉන් නොනැවතී බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකළ බවට චෝදනා ලබා සිටි තරුණයෙකු සියලු චෝදනාවන්ට වරදකරු බව තීරණය කළ බස්නාහිර පළාත් බද මීගමුව මහාධිකරණ විනිසුරු චම්පා ජානකී රාජරත්න මහත්මිය විත්තිකරුට බරපතළ වැඩසහිත වසර 37 ක සිර දඬුවමක් ඊයේ (03දා) නියම කළාය.
ඊට අමතරව රුපියල් 45000 ක දඩයක්ද නියම කර පීඩාවට පත් තරුණියට රුපියල් ලක්ෂ 27 ක වන්දියක් ගෙවන ලෙසද නියෝග කළාය. මෙසේ දඬුවම් නියම වූයේ වත්තල, හුණුපිටිය, වේවැල්දුව පාරේ හේවා තන්ත්‍රිගේ නුවන් ජනක නමැත්තෙකුටය.
2010 වසරේ මැයි මස 25 වැනිදා මෙම විත්තිකරු වත්තලදී අදාළ විශ්වවිද්‍යාල සිසුවියට මෙම අපරාධය කර ඇති බවට නීතිපතිවරයා අධිචෝදනා නගා තිබිණි. තම කැමැත්ත නොමැතිව යම් තැනැත්තෙකු සමග විවාහ කරවීම හෝ පෙළඹවීම සඳහා හෝ එසේ නීතිවිරෝධී සංසර්ගයට බලකිරීමේ අදහසින් හෝ එසේ බලකිරීමට ඉඩ ඇති බව දනිමින් හෝ නීතිවිරෝධී සංසර්ගයට බල කිරීම සඳහා පැහැරගෙන යාමෙන් ලංකා දණ්ඩ නීති සංග්‍රහය පනතේ 357 වගන්තිය යටතේද, එකී ක්රියාකලාපයේදී එකී තරුණිය දූෂණය කිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහය පනතේ 364(1) වගන්තියද, ස්වභාවධර්මයට විරුද්ධව බරපතළ ලිංගික අපයෝජනයක් සිදුකිරීමෙන් දණ්ඩ නීති සංග්‍රහය පනතේ 365 (2) වගන්තිය යටතේද මෙම චෝදනා එල්ල කර තිබිණි.
ඌව පළාතේ තරුණියක වන විශ්වවිද්‍යාල සිසුවිය අධ්‍යාපන කටයුත්තක් වෙනුවෙන් වත්තල ප්‍රදේශයට පැමිණ නිවස බලා යාමට බසයක් එනතුරු රැඳී සිටියදී, විත්තිකරු ජීප් රියකින් පැමිණ පොලිස් ස්ථානාධිපතිවරයෙකු සේ පෙනී සිට ඇය රවටා, තම පියාට අයත් හෝටලයකට රැගෙන ගෙන ගොස් මෙම අපරාධය සිදුකර ඇති බව මේ සම්බන්ධව පැවැති දීර්ඝ නඩු විභාගයේදී සඳහන් විය.
විත්තිකරු අදාළ චෝදනාවන්ට වරදකරු බව මහාධිකරණ විනිසුරුවරිය තීරණය කිරීමෙන් පසු අධිකරණය ඇමතූ පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කළ රජයේ අධිනීතිඥ හංස අබේරත්න මහතා පැතිකඩ හයක් ඔස්සේ අධිකරණයට කරුණු දක්වමින්, විත්තිකරු උපායශීලීව කටයුතු කර ඇති ආකාරයත්, තරුණියගේ සමාජමය තත්ත්වයත්, ඇය ඉන් පීඩාවට පත්වූ අන්දමත් පැහැදිලි කරමින් මෙම අපරාධකරුට සමාජයට පණිවිඩයක් ලැබෙන අන්දමේ උපරිම දඬුවමක් ලබාදිය යුතු බව කීය. විත්තිකරු අසහනකාරී ලිංගික ආශාවන් ම්ලේච්ඡ අන්දමින් සංසිඳුවා ගෙන ඇති බැවින් පීඩාවට පත් තරුණියට සුදුසු වන්දියක් ලබාදෙන ලෙසද හංස අබේරත්න මහතා ඉල්ලා සිටියේය.
විත්තිකරු වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ ප්‍රදීපා කළුආරච්චි මහත්මිය විත්තිකරු මෙම සිද්ධිය පිළිබඳව බලවත් සේ කම්පාවට පත්වන බවත්, ඔහු වසරකට ඉහතදී විවාහ වී ඇති බවත් සඳහන් කරමින් අවම දඬුවමක් නියම කරන ලෙස ඉල්ලා සිටියාය.අනතුරුව මහාධිකරණ විනිසුරුවරිය කරුණු දක්වමින් මෙම විත්තිකරු සිය ධනය බලය යොදමින් තිරිසනෙකු සේ හැසිරී ඇතැයිද, රටට වටිනා ජීවිතයක් කෙළි බඩුවක් සේ සලකා කටයුතු කර ඇතැයිද සඳහන් කරමින් උපරිම දඬුවම් නියම කරන බව පැවසුවාය.
ඒ අනුව පළමු චෝදනාවට වසර හතක සිර දඬුවමක් හා රුපියල් දසදහසක දඩයක්ද, දෙවැනි චෝදනාවට වසර විස්සක සිර දඬුවමක් හා රුපියල් විසිපන්දහසක දඩයක්ද, පීඩාවට පත් තරුණියට රුපියල් ලක්ෂ විසිපහක හානි පූර්ණ වන්දියක්ද, තුන්වැනි චෝදනාවට වසර නවයක සිරදඬුවමක්, රුපියල් දසදහසක දඩයක් හා රුපියල් ලක්ෂ දෙකක වන්දියක්ද නියම කළාය.
චෝදනා තුනට නියම කෙරුණු දඩ මුදල් නොගෙවන්නේ නම් එක් චෝදනාවකට වසර බැගින් සිර දඬුවම් නියම කෙරුණු අතර, වන්දි මුදල් නොගෙවන්නේ නම් වසර දෙක බැගින් සිර දඬුවම් නියම කළාය.