ලොව පුරා යුද ගැටුම් හේතුවෙන් අවතැන්වූ සහ වද හිංසා හේතුවෙන් පළාගිය ජනතාව පසුගිය වසරේදී මිලියන 50 ඉක්මවා ගොස් ඇතැයි සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙයි.
මෙය වඩාත් විමතිය දනවන තත්ත්වයක් බවට පත්ව තිබෙන්නේ එම අගය දෙවැනි ලෝක යුද්ධයෙන් පසු වාර්තාවූ ඉහළම අගය වීම හේතුවෙනි.
එක්සත් ජාතීන්ගේ සංවිධානය පෙන්වා දෙන පරිදි මිලියන 17ක් පමණ ජනතාව තම මවු රටින් පළා ගොස් ඇති අතර, ඉතිරි මිලියන 33 කට වැඩි පිරිස අභ්‍යන්තරව අවතැන්ව සිටිති.
මෙම තත්ත්වයට ප්‍රධාන වශයෙන් හේතුවී තිබෙන්නේ සිරියානු යුද්ධය බවද ඔවුන් පෙන්වා දෙයි. ඊට අමතරව මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ හට ගත් අර්බුදද ඊට බලපා තිබේ.
මේ ආකාරයෙන් සරණාගතයන්ගේ සංඛ්‍යාව පෙර වසරට වඩා විශාල ලෙස වැඩිවීම මගින්, යුද ගැටුම් අවසන් නොකිරීම හේතුවෙන් දැරීමට සිදුව ඇති අධික වියදම සහ ඒවා අවසන් කිරීමට අපොහොසත් වීම පිළිබඳ සංඥාවක් ලබාදෙන බව සරණාගතයන් පිළිබඳ එක්සත් ජාතීන්ගේ සංවිධානය අවධාරණය කරයි.
කෙසේ වෙතත්, මේ වනවිට ඉරාකය තුළ ඇතිවී තිබෙන අර්බුදය හමුවේ 2014 වසර වනවිට සරණාගත අර්බුදය තවදුරටත් ඉහළ යා හැකි බව විශ්ලේෂකයෝ පෙන්වා දෙති.