වත්කම් හෙළි කළයුතු අයෙකු ලෙස සිටිමින් වසර හතරක කාලයක් සිය වත්කම් හා බැරකම් හෙළි නොකළ බවට වූ චෝදනාව සම්බන්ධයෙන් තමන් වරද පිළිගැනීමට සූදානම් බව හිටපු නියෝජ්‍ය අමාත්‍ය, සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ හිටපු සභාපති සරණ ගුණවර්ධන මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතාට අද (26දා) දැනුම් දුන්නේය.
මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටි සරණ ගුණවර්ධන මහතා ඒ බව දැනුම් දීමෙන් අනතුරුව මෙම චෝදනා කියවා දීම සඳහා නඩුව ලබන වසරේ ජනවාරි 05 වැනිදා කැඳවීමට මහේස්ත්‍රාත්වරයා නියම කළේය.
වත්කම් හෙළි කළයුතු පුද්ගලයෙකු ලෙස සිටිමින් 2005වසරේ සිට 2007වසර දක්වා වසර හතරක කාලයක් සිය වත්කම් හා බැරකම් හෙළි නොකිරීම අල්ලස් පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් ලෙස විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම විසින් චෝදනා නඟා තිබිණි.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රුපියල් ලක්ෂය බැගින් වටිනා ශරීර ඇපකරුවන් දෙදෙනෙකුගේ ඇප මත විත්තිකාර සරණ ගුණවර්ධන මහතා ඇප මත මුදාහැරීමට නියම කළ අතර, මෙම පැමිණිල්ල යළි කැඳවනු ලබන ජනවාරි 05 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නියම කළේය.