මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය හෙවත් සයිටම් ආයතනයේ අයිතිය පෞද්ගලික හිමිකාරීත්වයෙන් ඉවත්කර ලාබ නොලබන සහ වැඩි පිරිසකගේ අයිතීන් සහිත නව ආයතනයක් බවට පත්කිරීමට රජය තීරණය කර ඇතැයි උසස් අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය මොහාන් ලාල් ගේරු මහතා පාර්ලිමේන්තුවට පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා විසින් ස්ථාවර නියෝග 23/2 යටතේ යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් රාජ්‍ය අමාත්‍යවරයා ඊයේ(17දා) පාර්ලිමේන්තුවේදී මේබව පවසා සිටියේය.
වෛද්‍ය සභාවේ එකඟතාව අනුව සයිටම් වෛද්‍ය සිසුන්ට ලියාපදිංචිය පිරිනැමීමේදී අතිරේක විභාගයකට මුහුණ දීමට නියම කිරීම හෝ සායනික පුහුණුව ලබන කාලය දීර්ඝ කිරීමටද යෝජනා කර ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
සයිටම් ගැටලුව විසඳීම සඳහා මේවනවිට සයිටම් වෛද්‍ය විද්‍යාලයට සිසුන් බඳවාගැනීම වහාම නතර කර ඇති බවත්, ශ්‍රීලංකා වෛද්‍ය සභාව මගින් ප්‍රකාශයට පත්කර ඇති අවම ප්‍රමිතිය පිළිබඳ නිර්ණායකයන් ගැසට් කිරීම, වෛද්‍ය ප්රමිතීන් ස්ථාපනය කිරීම හා තත්ත්ව සහතික කිරීමට ප්‍රතීතනය සහ තත්ත්වසහතික කිරීමේ කොමිෂන් සභාවක් පිහිටුවීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද, රජය යෝජනාකර ඇති බවද මොහාන් ලාල්ගේරු මහතා ප්‍රකාශ කළේය.
පසුගිය රජය සමයේ ආරම්භ වූ සයිටම් ආයතනය වසා දැමීමට එවකට කිසිදු පාර්ශ්වයකින් ඉල්ලීම් ඉදිරිපත් නොවූ බවත්,වත්මන් රජය මගින් මෙම ගැටලුව විසඳීමට යෝජනා රාශියක් ඉදිරිපත් කර ඇති අතර, බොහෝ යෝජනා මේවනවිට ක්‍රියාත්මක කරමින් පවතින බවත් හෙතෙම පැවසීය.
සයිටම් ආයතනය සම්බන්ධයෙන් මේවනවිට ක්‍රියාත්මක කරන යෝජනා සම්බන්ධයෙන් විරෝධතාකරුවන් කිසිදු සුබදායී ප්‍රතිචාර දක්වා නොමැති බවත්, ඒකපාර්ශ්වික විසඳුම්කරා යෑමටනොහැකි බවත් ගේරු අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
සයිටම් සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය නිර්මාණය කිරීමට වත්මන් රජය කිසිදු ආකාරයකට දායක වී නොමැති අතර, ගැටලුව විසඳීමට ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.