මහනුවර සහ අම්පාරේ ඇති වූ සිදුවීම් වලින් පසුව ෆේස්බුක් සමාජ ජාලය තාවකාලිකව තහනම් කිරීම ඉදිරි දින කිහිපයේ දී ඉවත් කරන බවත් සමාජය යහපතට ගන්නා ඕනෑම දෙයකට ඉඩ තිබුණත් සමාජය විනාශ කරන යම් දෙයක් වේ නම් එය පාලනය කිරීමට යම් ක්‍රමවේදයක් අවශ්‍ය බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය. ජපානයේ රාජ්‍ය සංචාරයක යෙදෙන අතරතුර ඊයේ (13දා) සවස්වරුවේ ජපානයේ ශ්‍රී ලාංකික ප්‍රජාවේ නියෝජිතයන් හමුවෙමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය.
ජංගම දුරකථනය, පරිගණකය, අන්තර්ජාලය, සාමාජ මාධ්‍ය නිර්මාණය වූයේ මානව සමාජයේ යහපත සඳහා බවත් එයින් ලෝකයක දැනුම තමන්ට අත්කර ගත හැකි වුවද අවාසනාවකට ශ්‍රී ලංකාවේ බොහෝ දෙනා මේ සම්පත් පාවිච්චි කරන්නේ රට විනාශ කිරීමට බවද ජනාධිපතිවරයා පැවසීය.
එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා,
"පසුගිය සතියේ මේ සිද්ධි (මහනුවර හා අම්පාරේ ගැටුම්) ඇතිවෙන්න කලින් බොහෝ දෙනා අවුරුදු ගණානාවක් කිව්වේ ෆේස් බුක් කියන්නේ බරපතළ ප්‍රශ්නයක් කියලයි. පවුල් විනාශ වෙනවා, ළමයි සිය දිවි නසාගන්නවා, නින්දා අපහාස, ජාතිවාදී හැඟීම් ඇවිස්සීම් සිදුවෙනවා මේවා පාලනය කරන්න කෙනෙක් නැද්ද කියලයි බොහෝ දෙනා අපෙන් ඇහුවේ. සමාජ නිදහස, ප්රජාතන්ත්රවාදය, මාධ්‍ය නිදහස එක්ක අපි මේවා පාලනය කරන්න ගියේ නෑ. මේවා කොයිතරම් වැරදි ආකාරයට යොදා ගත්තත් අපි අත තිබ්බේ නෑ. එහෙත් මහනුවර සිදුවීම පැතිරෙන්න ප්‍රධාන හේතුවක් වුණේ ෆේස්බුක්. අපි රජයක් විදියට තාවකාලිකව ෆේස් බුක් තහනම් කළේ නැත්නම් අදවන විට මේ තත්ත්වය මහනුවරින් එහාට රටපුරා පැතිරිලා.
මේ තාවකාලික තහනම නිසා හොඳ ප්‍රතිඵල වගේම අලාභ පාඩුත් අපට වුණා. එදා ෆේස් බුක්වලට බැන්න අය දැන් මේක වෙනත් පැත්තට ගෙනියන්න හදනවා. ලෝකයේ ලොකු සමාගම්වල මහත්වරු ලංකාවට එනවා අපේ සමාගම්වලට විශාල පාඩුවක් කියලා. ඒ අයගේ ආදායම පහළ බැහැලා. එහෙත් ටෙලිකොම් වැනි විදුලි සංදේශ නියාමන කොමිසමට අයත් ආයතනවල ආදායම වැඩි වෙලා. අපේ සල්ලි කොතරම් විනාශ වෙලා තිබෙනවාද කියා පැහැදිලියි.ඒ වගේම මිනිස්සුන්ගේ වටිනා කාලය කොතරම් විනාශ කර ගන්නවාද? කොහොම වුණත් ඉදිරි දින කිහිපයේ දී අප මේ තහනම ඉවත් කිරීම ගැන කටයුතු කරනවා.
ජාතික සමගිය නැති කිරීම , ජාතික ආරක්ෂාවට හානි කිරීම, පුද්ගලයන්ට කරන බරපතල නින්දා කිරීම වැනි දේ ඉවත් කරලා හොඳ දේ යහපත් දේ නිවැරදි දේ පමණක් හුවමාරු කිරීම වැඩි කිරීම අවශ්යයින. ඉදිරියේ දී අප ඒ ගැන කතා බහ කරමින් යනවා. යම් කිසි දෙයකින් සමාජය විනාශ කරනවා නම් ඒ දේ පාලනය කිරීමට යම් ක්‍රමවේදයක් තියෙන්න ඕනි. ඒත් හොඳ දේවල් නැති කිරීමට අපේ කිසිම බලාපොරොත්තුවක් නැහැ" යැයි පැවසීය.