සම්මුතිවාදී ආණ්ඩුව පවත්වාගෙන යාම අපහසු, අභියෝගාත්මක එහෙත් කළ යුතු දෙයක් බව ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය. වසර 2025දී ශ්‍රී ලංකාව පොහොසත් රටක් බවට පත් කිරීමේ අරමුණින් වත්මන් සම්මුතිවාදී ආණ්ඩුව ඉදිරිපත් කරන 'විෂන් 2025 පොහොසත් රටක්' වැඩපිළිවෙළ එළිදැක්වීමG අද (04දා) කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණශාලාවේදී එක්වෙමින් ඔහු මේ බව පැවැසීය.
"ශ්‍රී ලංකාවේ කිසිදු පුරවැසියෙකුට මෙතෙක් අත්දැකීමක් නොවුණු අලුත් ක්‍රමයක් තමයි අපි මේ සම්මුතිවාදී ආණ්ඩුව හරහා ඇති කළේ. මේ ව්‍යුහය ලෝකයේ වෙනත් කිසිදු රටකවත් දැකගන්න බැහැ. ඒ නිසා මේ සම්බන්ධ විවේචන, විරෝධතා, චෝදනා රාශියක් තියෙනවා. නමුත් අපි කරන්නේ ඉතාමත් අපහසු, අභියෝගාත්මක එහෙත් කළ යුතු දෙයක්.
අපි කවුරුත් දන්නවා මේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක වසර 60කට වැඩි කාලයක් විශාල වෛරයකින්, ක්‍රෝධයකින් දේශපාලනය කරපු පක්ෂ දෙකක්. එහෙම වුණහම අපි බලාපොරොත්තු වන දේ පැයකින්, දෙකකින්, දවසකින් දෙකකින් සිද්ධ වෙන්නේ නෑ. අපි ලබන අත්දැකීම් එක්ක ඉදිරියට යන විට අඩුපාඩු සකස් වෙයි. මේ ගමන අභියෝගාත්මක වගේම සාර්ථකයි කියලා මම හිතනවා.
අපි නීතිය ශක්තිමත් කරලා තියෙනවා. අල්ලස, දූෂණය, වංචාව මර්දනය කරන ආයතන අපි ශක්තිමත් කරලා තියෙනවා. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඊට මූලික වුණා. දේශපාලනඥයන් තුළ වංචා, දූෂණ සඳහා බියක් ඇති වෙලා තියෙනවා. අපි ගත්තු තීන්දු තීරණ පියවර නිසා. එදා සිදුවුණු දේවලට අද තීන්දු ගන්නවා වගේම අද සිදුවන දේවලට ඉදිරියේදීත් මෙවැනි තත්ත්වයකට මුහුණ දෙන්න වේවි කියන ලැජ්ජාව සහ බය තියෙන්න ඕනේ. එහෙම ලැජ්ජාවක් සහ බයක් නැත්නම් ඒ සත්ත්වයෙක්. වැරැද්දක් කළොත් දඬුවමක් ලැබිය යුතුමයි."