සංස්කෘතික හා කලා කටයුතු අමාත්‍ය ටී.බී ඒකනායක මහතාගේ අඩිය ගැලවුණු සපත්තු යුවළට ලැබුණු ඇමෙරිකානු ඩොලර් මිලියන දහසක ලංසු පිළිබඳව සොයා බැලීමට පත්කළ කමිටුවට ඒ පිළිබඳව සොයාබැලීමට මේ වනතුරු රැස්වීමට නොහැකි වූ බවත්, එම ලංසුවෙන් පසු මේ වනතුරු ඒ පිළිබඳව කිසිම තොරතුරක් නොලැබුණු බවත් සංස්කෘතික අධ්යක්ෂ විජිත කණුගල මහතා 'අද'ට පැවසීය.
රාජකාරි කටයුතු අධික බැවින් එම කමිටුවට පත්කළ මුදියන්සේ දිසානායක මහාචාර්යවරයා හෝ සුදත් රෝහණ මහතා හමුවී මේ පිළිබඳව කතාකිරීමට නොලැබුණ බවත්, මේ පිළිබඳව ඇමතිවරයාට කුමන හෝ තොරතුරක් ලැබී ඇත්දැයි තමා නොදන්නා බවත් හෙතෙම පැවසීය.
කණුගල මහතා වැඩිදුරටත් පැවසුවේ, මෙය විහිළුවට කළ බව කතා පැතිර යන බවත්, තොරතුරු සොයා නොබලා එලෙස ප්‍රකාශ කළ නොහැකි බවත්ය.
කෙසේ වෙතත් මේ පිළිබඳව ටී.බී. ඒකනායක අමාත්‍යවරයාගෙන් අප විමසූ විට ඒ මහතා පැවසුවේ, මේ පිළිබඳව තොරතුරු සියල්ල සොයාබැලීම තමා පත්කළ කණ්ඩායමට බාරදී ඇති බවත්, තමා ඉන් නිදහස් වී සිටින බවත්ය.