ප්‍රවීණ සිංහල දේශක උපුල් ශාන්ත සන්නස්ගල මහතා රත්මලාන ආසනයේ එ.ජා.ප. ආසන සංවිධායකවරයා වශයෙන් පත්කර තිබේ.
ජනවාරි 08 වැනිදා නව රජය බිහිවීමෙන් පසු එ.ජා.ප.ය පත්කළ පළමු ආසන සංවිධායකවරයා වන්නේ සන්නස්ගල මහතාය. ඔහු මීට පෙර අවස්ථා කිහිපයකදීම දේශපාලනයට සම්බන්ධ වන බවට කටකතා පැතිරුණද ඒ කිසිදු අවස්ථාවකදී හෙතෙම දේශපාලනයට සම්බන්ධ නොවීය.
1994 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හපුතලේ ආසනයට තරග කිරීම කළ ආරාධනය ඔහුට ලැබුණු පළමු ආරාධනය වූ අතර, එයින් පසුව මහරගම සහ අවිස්සාවේල්ල ආසන සංවිධායක වශයෙන් දේශපාලනයට එක්වීමේ ආරාධනා ලැබී තිබේ.
2010 පළාත් සභා මැතිවරණයේදී සබරගමුව මහ ඇමති අපේක්ෂකයා ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් තරග කිරීමට ආරාධනා ලැබුණු අවස්ථාවේදී &එ.ජා.ප.යේ යෝජනාව බාරගන්නෙත් නෑ... ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ..* යනුවෙන් ඔහු කළ ප්‍රකාශය දේශපාලන ක්ෂේත්රයේ දැඩි කතාබහට ලක්විය.
පසුගියදා එ.ජා.ප. නායක රනිල් වික්‍රමසිංහ මහතා අතින් ආසන සංවිධායක ධුරය භාරගත් සන්නස්ගල මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් දැක්වීය.
&දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතා රත්මලාන සංවිධායකවරයා ලෙස කටයුතු කිරීමෙන් පසුව මේ ආසනයට එ.ජා.ප.යෙන් ස්ථිර සංවිධායකවරයෙකු සිටියෙ නෑ. දේශපාලන යෝධයෙක් නියෝජනය කළ මේ ආසනයේ සංවිධායකවරයා වීම මට සුවිශේෂීයි.*
උපුල් ශාන්ත සන්නස්ගල මහතා ග්රන්ථ ප්‍රකාශකයෙකු, නවකතාකරුවෙකු, ගීත රචකයෙකු, චිත්‍රපට නිෂ්පාදකයෙකු, විචාරකයෙකු මෙන්ම මාධ්‍යවේදියෙකු ලෙසද ප්‍රචලිතය.