පසුගිය ජනාධිපතිවරණයේදී රාජ්‍ය ආයතනයන්හි පරිබාහිර කටයුතු සඳහා දරා ඇති වියදම් අයකර ගැනීම සඳහා එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම්වරයාට එරෙහිව නඩු පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කළ බව අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ජනාධිපතිවරණයේදී ප්‍රවාහන අමාත්‍යාංශය ඇතුළු අමාත්‍යාංශ යටතේ පවතින ආයතන මගින් රාජකාරි නොවන පරිබාහිර කටයුතු සඳහා යොදා ගත් රාජ්‍ය සම්පත් වලට අදාළ මුදල් මෙතෙක් නොගෙවීම මත මෙම තීරණය ගත් බවත් ඊයේ (23දා) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය.
පසුගිය කාලසීමාව තුළදී මහින්ද රාජපක්ෂ සහ එම පවුලට එරෙහිව පැමිණිලි 7000 ක් පමණ ලැබී ඇති අතර, ඉන් 52 ක් පමණ මේ වනවිට විභාග කර අවසන් බවද අමාත්‍යවරයා පැවසීය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය මාධ්‍ය සඳහා රුපියල් මිලියන 800 ක් ගෙවීමට ඇති බව අනාවරණය වී තිබේ. ජාතික ගමනාගමන කොමිෂන් සභාව විසින් මහින්ද රාජපක්ෂ මහතා සමග පැවැත්වූ හමුවක් සඳහා රුපියල් මිලියන 8.2 ක් වැයකර තිබේ.
එකල දේශපාලන රැස්වීම් සඳහා මහජනතාව සහභාගී කරවීම වෙනුවෙන් ලංගම බස් රථ යොදාගෙන ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 50 ක අත්තිකාරම් මුදලක් පමණක් ගෙවා තිබේ. තවත් රුපියල් මිලියන 142.5 ක් ගෙවීමට ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ශාලිකා ක්‍රීඩාංගණය දේශපාලන කටයුතු සඳහා මුදල් නොගෙවා යොදාගැනීම හරහා අය විය යුතු මුදල්ද දේශපාලන රැස්වීම් හේතුවෙන් ක්‍රීඩාංගණයේ ප්‍රතිසංස්කරණ කටයුතුද සිදුකිරීමට වී ඇති බව අමාත්‍යවරයා පැවසීය.
රජයේ නීතිපති දෙපාර්තමේන්තුවේ පවතින ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් සහ රාජපක්ෂ හිතවාදී රාජ්‍ය නිලධාරීන්ගේ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙන් රාජපක්ෂ පවුලට එරෙහි පැමිණිලි ක්‍රියාත්මක වීමට කල්ගතවන බවද පැවසූ අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අදාළ අලාභයන් පිළිබඳව අදාළ පාර්ශ්වයන්ට එරෙහිව නීත්‍යනුකූලව කටයුතු කිරීමට කැබිනට් අනුමැතිය ලැබූ බවයි.