එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 50 දෙනෙකු පමණ පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර ඇතැයි අද ට වාර්තා වේ.
මෙම මන්ත්‍රීවරුන් පිරිස අතරට ශ්‍රී.ල.නි.ප. මන්ත්‍රීවරුන් 39 දෙනෙක් හා එ.ජ.නි.ස.ට අයත් අනිකුත් පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරු 11 දෙනෙක්ද අයත් වෙති.
මේ අතර විපක්ෂයේ පළමු පෙළ අංක 09 අසුන හිටපු ජනාධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට වෙන්කර ඇති අතර, දිනේෂ් ගුණවර්ධන, වාසුදේව නානායක්කාර, ඩලස් අලහප්පෙරුම, විමල් වීරවංශ යන මන්ත්‍රීවරුන්ටද විපක්ෂයේ ඉදිරි පෙළ අසුන් වෙන්කර තිබේ.
ජනාධිපතිවරයාගේ අවසරය මත එ.ජ.නි.ස.යේ මන්ත්‍රීවරුන් විපක්ෂයේ අසුන් ගැනීමට තීරණය කර තිබේ.
මේ අතර එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් සහ අමාත්‍යවරුන් ලෙස දිවුරුම් දුන් එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන් ඇතුළත්ව ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 141 කි.
බොහෝදුරට ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 150 ඉක්මවනු ඇති බවද අද ට වාර්තා වේ.
දෙමළ ජාතික සන්ධානය සහ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ විපක්ෂය ලෙසද, අටවැනි පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ සංඛ්‍යාව 06 ලෙසටද කථානායකවරයා ගත් තීරණය වෙනස් කර නොමැත.
පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ට කාලය වෙන්කිරීමේදී ආණ්ඩු පක්ෂයට 70% ද, විපක්ෂයට 30% ක් ලෙස කාලය වෙන්කිරීමට තීරණය කර තිබේ.
ආණ්ඩු පක්ෂයේ කාලයෙන් එක්සත් ජාතික පෙරමුණේ මන්ත්‍රීවරුන් වෙත 40%කාලයක්ද, අනිකුත් මන්ත්‍රීවරුන්ට 30% කාලයක්ද වෙන්කර ඇති අතර, විපක්ෂයේ අසුන්ගන්නා එ.ජ.නි.ස. මන්ත්‍රීවරුන්ට එම 30% ක කාලයෙන් 10% ක් වෙන්කිරීමට තීරණය කර තිබේ.
අද (22දා) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව වෙත නම් කළ සිවිල් නියෝජිතයන් තිදෙනාගේ නම් අනුමත කර ගැනීමට නියමිත අතර, එය විවාදයකින් තොරව අනුමත කර ගැනීමට ආණ්ඩු පක්ෂය බලාපොරොත්තු වේ.
පාර්ලිමේන්තුව කල්තබන අවස්ථාවේ කල් තැබීමේ විවාදයක් ලෙස පිළිගත් පටිපාටිය උල්ලංඝනය කරමින් රාජ්‍ය අංශයේ සිදුකරන බඳවා ගැනීම් පිළිබඳ කල්තැබීමේ විවාදය ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කිරීමට නියමිතය. පාර්ලිමේන්තුව අද ප.ව. 1.00 ට ආරම්භ වීමට නියමිතය. මේ අතර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (21දා) රැස්විය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව සඳහා යෝජනා වී ඇති සිවිල් සාමාජිකයන් තිදෙනා සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබාගැනීමට ඔවුන්ගේ නම් අද (22දා) දිනයේ ආණ්ඩු පක්ෂය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
ආචාර්ය ඒ.ටී. ආරියරත්න, ආචාර්ය රාධිකා කුමාරස්වාමි සහ හිටපූ නීතිපති අධි නීතීඥ සිබ්ලි අෂිස් යන මහත්ම මහත්මීන් මේ වනවිට ව්‍යවස්ථාදායක සභාවට යෝජනා කර තිබෙන අතර, මොවුන්ගේ නම් පාර්ලිමේන්තුවේ සම්මත වීමෙන් අනතුරුව හෙට (23දා) පස්වරුවේ 10 දෙනෙකුගෙන් සමන්විත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ප්‍රථම වරට රැස්වන බව පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක මහතා පැවසීය.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (21දා) පාර්ලිමේන්තුවේදී රැස් වූ අතර, එහිදී කොමිෂන් සභා සඳහා නාමයෝජනා ඉදිරිපත් කිරීමේ කාලසීමාව මේ මස 30 වැනිදා දක්වා දීර්ඝ කිරීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මහලේකම්වරයා සඳහන් කළේය.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව කොමිෂන් සභා පත්කිරීම ඉක්මනින්ම සිදුකිරීමටත්, ඒ අනුව කොමිෂන් සභා 10 ක් පත්කිරීමටත් නියමිතය.
චාමර සම්පත්/ අමිත් මධුරංග