ඉදිරි දිනවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් බිහි වුවහොත් එම ආණ්ඩුවේ අග්‍රාමාත්‍ය තනතුර වර්තමාන විපක්ෂ නායක නිමල් සිරිපාලද සිල්වා මහතාට හිමිවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.
ඊයේ (17දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ මහලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, වර්තමාන පාර්ලිමේන්තුව කල් ඉකුත් වී තිබෙන බවට ජනතා විමුක්ති පෙරමුණ පැවසුවත් අද පවතින පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන් වන්නේ 2016 අප්‍රේල් මාසයේදී බවත්ය.
දෙයියන්ගේ හාල් කැවුණා සේ කටයුතු කරන එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව රට සෑම අතින්ම ආගාධයට ඇද දමා තිබෙන බවත්, එහෙත් තවදුරටත් රට ආගාධයට යාමට ඉඩ දිය නොහැකි බවත් ඒ මහතා පවසා සිටියේය.
රට තුළ ඇතිවී තිබෙන ආර්ථික අර්බුදයට අනුව රට තවදුරටත් ඉදිරියට ගෙනයාමට නොහැකි නිසා පාර්ලිමේන්තුව විසුරුවා හරින ලෙස කෑමොර දෙන බවත්, එහෙත් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට කටයුතු නොකර ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයට රට භාරදීමට කටයුතු කළහොත් මාසයක් තුළ රට ආර්ථික හා සමාජීය වශයෙන් විශාල දියුණුවකට පත් කරන බවද මහලේකම්වරයා සඳහන් කළේය.
එක්සත් ජාතික පක්ෂයට රට පාලනය කළ නොහැකි බවට පූජ්‍ය අතුරලියේ රතන හිමියන්ද සඳහන් කර තිබෙන බවත්, උන්වහන්සේ අලුත් ආණ්ඩුවක් ගැන සඳහන් කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.
රතන හිමියන් යෝජනා කරන ආණ්ඩුවත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය යෝජනා කරන ආණ්ඩුවත් ආණ්ඩු දෙකක් නොව එකක් බවත්, බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මැතිවණ ක්‍රමයට අනුව එම ආණ්ඩුවේ අගමැතිවරයා වන්නේ නිමල් සිරිපාල ද සිල්වා මහතා බවද අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය.