ජනතාවට සහන සැලසීමට සතොස ජංගම වෙළෙඳ රථ මගින් අත්‍යවශ්‍ය භාණ්ඩ ගම් මට්ටමින් අලෙවි කිරීමේ විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇතැයි කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පැවසීය.
හෙතෙම මේ බව පැවසුවේ, අද (23දා) වවුනියාවේ සතොස අලෙවි මධ්‍යස්ථානයක සංචාරයක නිරත වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
සහල් ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක් සහන මිලට සතොස ජංගම වෙළෙඳ රථ මගින් ජනතාවට ලබාදීමේ වැඩසටහනක් ජනාධිපතිවරයාගේ හා අගමැතිවරයාගේ උපදෙස් මත ඊයේ (23දා) ආරම්භ කළ බවත්, ඉදිරියේදී දිවයින පුරා එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
මෙහි මූලික අදියරේදී ජංගම වෙළෙඳ රථ 50ක් යොදවා ඇති බවත්, දිවයින පුරා ඇති සතොස වෙළෙඳ මධ්‍යස්ථාන 370ක මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන අතර, ඒ තුළින් ජීවන වියදම අඩුකිරීමට හැකිවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
මේ වනවිට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 05ක් මෙරටට ගෙන ඒමට කටයුතු ආරම්භ කර ඇති බවත්, සහල් රුපියල් 73 දක්වා අඩු කිරීමට හැකිව ඇති අතර, අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ජනතාවට ලබාදීමට කටයුතු කරන බවද අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා පවසා සිටියේය.