ජාතිය ගොඩනැගීමේ සංවර්ධන කටයුතු සඳහා යොදාගෙන තිබෙන්නේ යුද්ධයෙන් පසුව ආරක්ෂක අංශයට එක්වූ ස්වේච්ඡා සෙබළුන් බවත්, ඔවුන් ඉතාමත් සතුටින් එම කාර්යයේ යෙදී සිටින බවත් ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (22දා) පැවසීය.
එම සෙබළුන්ට යුද පුහුණුවක් ලබානොදෙන බව පැවසූ ආරක්ෂක ලේකම්වරයා ඔවුන් සතු හැකියාව දියුණු කරගෙන සතුටුවිය හැකි වැටුපකට හිමිකම් කීමට අවස්ථාව සලසා ඇති බවද කියා සිටියේය.
ඓතිහාසික කතරගම වැඩසිටි කන්ද විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකරන වාහල්කඩ සඳහා මුල්ගල් තැබීමේ උත්සවයේදී හෙතෙම මෙම අදහස් දැක්වීය.
"ආරක්ෂක හමුදාවේ 5000කට ආසන්න පිරිසක් විහාරස්ථානවල විවිධ ප්‍රතිසංස්කරණ කටයුතුවල යෙදී සිටිනවා. යුද්ධය අවසන් වූ පසු විවිධ පිරිස් අහන්න ගත්තා මෙච්චර හමුදාවේ සෙබළු පිරිසක් ඇයි තියාගත්තේ කියලා. සමහරු කිව්වා ස්වේච්ඡාවෙන් හමුදාව විසුරුවා හැරලා නිත්‍ය හමුදාව පමණක් තබාගත්තා කියලා. නමුත් ජනාධිපතිතුමාගේ තීරණය වුණේ යුද්ධය සඳහා බඳවාගත් හමුදාව ඒ වෙනුවෙන්ම පවත්වාගත යුතු බවයි.
ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් කල ලබාගත් නිදහස ඉදිරියට ගෙනයාම සඳහා උතුරු නැගෙනහිර පළාත්වල හමුදා කඳවුරු පවත්වාගෙන යාම අවශ්‍ය බව එතුමා කිව්වා. ඒ වගේම අපගේ ජාතිය ගොඩනැගීමේ විවිධ කාර්යයන් සඳහා හමුදා සෙබළුන් පාවිච්චි කරන්න පුළුවන්. ඒ නිසා ඒ අය තවදුරටත් තබාගැනීම අවශ්‍ය නිසයි අපි දිගටම මේ හමුදාවේ සංඛ්‍යාව පවත්වාගෙන යන්නේ." යැයි පැවැසීය.