හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ මල්වතු විහාර පාර්ශ්වය දෙකට කිරීමට කටයුතු කළ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් හෙළි කළේය. ඊයේ (31දා) රඹුක්කන, කඩිගමුව ශ්‍රී නාගවනාරාම පුරාණ රජමහා විහාරස්ථානයේ ආගමික උත්වසයට එක්වෙමින් අගමැතිවරයා මෙම අදහස් දැක්වීය.
එසේම ඉහත චෝදනා හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කරනවානම් ඒ පිළිබඳව ජනපති කොමිසමක් පවා පත්කරමින් විමර්ශනය කිරීමට සූදානම් බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවැසීය.
"කොටි සංවිධානය පරාජයට පත් කළ හමුදාපතිතුමා සිරගත කිරීම ඉතා අසාධාරණ ක්‍රියාවක් බැව් එදා මේ රටේ බොහෝ දෙනෙකු ප්‍රකාශ කළා. මේ අසාධාරණයට එරෙහිව දළදා මාලිගාවේ පූජාවකින් පසුව මාලිගාව අභියස සත්‍යග්‍රාහයක් කරන්නට සූදානම් කළා. ඒ සඳහා දළදා මාලිගාවේ ඉඩකඩ ලබා නොදෙන ලෙස එදා ජනාධිපති කාර්යාලයෙන් මහානායක හිමිවරුන්ට දැනුම් දුන්නා. නමුත් බලාපොරොත්තු වූ ප්‍රතිචාරය මල්වතු පාර්ශ්වයෙන් ලැබුණේ නැහැ. ඒ නිසා ඔවුන් එදා මල්වතු විහාරය භේද බින්න කරන්නට කටයුතු කළා. ජාතික වීරයෙකු වන සරත් ෆොන්සේකා මහතා සිරගත කිරීම නුසුදුසු බව මල්වතු මහානායක හිමියනුත් ප්‍රකාශ කළා.
නමුත් මේ සම්බන්ධයෙන් මල්වතු විහාරයේ ස්වාමීන් වහන්සේලා රාශියක් එකට එකතුවී සාකච්ඡා කළා. මේ බව මාධ්‍ය වාර්තාවලත් සඳහන් වී තිබෙනවා. දීර්ඝ සාකච්ඡාවකින් පසු ඔබ වහන්සේ මේ කටයුත්ත නොකළොත් රාජ්‍ය බලය අපට තිබෙන නිසා අපි මල්වතු පාර්ශ්වය කඩලා අලුත් පාර්ශ්වයක් හදන බවට ඔවුන් තර්ජනය කළා. අපි ඒ පන්සලේ පාර්ශ්වයට යන බවට ඔවුන් කියා සිටියා. අපේ හිටපු දියවඩන නිලමෙතුමත් මෙතැන ඉන්නවා. එතුමාත් මේ බව දන්නවා.
බුද්ධාගම ආරක්ෂා කරන බවට ව්‍යවස්ථාව අනුව ප්‍රතිඥා දීලා ඉන්පසුව මල්වතු පාර්ශ්වය දෙකඩ කරන බව ප්‍රකාශ කළා. සංඝයා වහන්සේලා සමග අපටත් ප්‍රශ්න තිබිය හැකියි. ඒ ප්‍රශ්න ගැන අප වාද විවාද කරනවා. එහෙත් විවේචනය කරනවා. කිසිවිටක සියම් නිකායවත්, මල්වතු පාර්ශ්වයවත්, අස්ගිරිය පාර්ශ්වයවත්, කෝට්ටේ පාර්ශ්වයවත්, අමරපුර හා රාමඤ්ඤ නිකායයන් කඩා බිඳ දැමීමට අපි කටයුතු කරන්නේ නැහැ. එදා එම රැස්වීමට සහභාගී වුණේ සාමාන්‍ය ස්වාමීන් වහන්සේලා නොව උගත්, බුද්ධිමත් ස්වාමීන් වහන්සේලායි.
ඒ ලැයිස්තුව මා ළඟ තිබෙනවා. එදා මමත්, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මැතිනියත් මෙවැනි පාප කර්මයක් කිරීමට ඉඩදිය නොහැකි බැව් කියා සිටියා. පසුගිය රජය පරාජයට පත් කරන්නට අපට එක හේතුවක් වුණේ මල්වතු පාර්ශ්වයත්, බුද්ධ ශාසනයත් ආරක්ෂා කළ යුතුව තිබූ නිසයි. අනෙකුත් සෑම නිකායකම ස්වාමීන් වහන්සේලා මේක මහා පාපකර්මයක් බවට ප්‍රකාශ කළා. උන් වහන්සේලා කියා සිටියේ අද මල්වතු පාර්ශ්වයට මෙවැනි අන්දමේ කෙනහිලිකම් කරන්නේ නම් ඉදිරියට අපේ නිකායවලටත් මේ අයුරින්ම කටයුතු කරනු ඇති බවයි.
මෙවැනි දෙයක් සිදු වුණේ නොමැති බැව් හිටපු ජනාධිපතිතුමා ප්‍රකාශ කරන්නේ නම් ඒ ගැන පරීක්ෂණයක් පැවැත්වීමට වුවත් සූදානම් බව මේ කරුණ ගැන හොදින්ම දන්නා පුද්ගලයකු හැටියට මම ප්‍රකාශ කරන්නට කැමැතියි. අවශ්‍ය නම් ජනාධිපති කොමිසමක් වුවත් පත් කරන්නට පුළුවන්."