ලිබියාවට ඔබ්බෙන් මුහුදේ අතරමංව සිටි 3,300කට ආසන්න අනවසර සංක්‍රමණිකයන් පිරිසක් බේරාගැනීම සඳහා වෙරළාරක්ෂක බලකායන් කටයුතු කර තිබුණි.
ඉතාලි වෙරළාරක්ෂක බලකාය, යුරෝපා සංගම් නාවික බලමුළුව සහ රාජ්‍ය නොවන ආයතන එක්ව මෙම මෙහෙයුම් දියත්කර තිබුණි.
මෙම මුදාගැනීමේ මෙහෙයුමේදී පුද්ගල මළ සිරුරු 7ක්ද හමුවී ඇති බව ඉතාලි අන්සා පුවත් ඒජන්සිය පවසයි.
යුරෝපයට හා උතුරු ඇමෙරිකාවට ඇතුළු වීමට පැමිණෙන අනවසර සංක්‍රමණිකයන් ගමන් අරඹන ප්‍රධාන තොටුපොළක් ලෙස ලිබියාව සැලකෙන අතර, මධ්‍යධරණී මුහුද ඔවුන් දිවි පරදුවට තබමින් සිදුකරන ගමනේ ගමන් මාර්ගය වෙයි.
මෙම ගමන් මාර්ගය තුළ මිනිස් ජාවාරම්කරුවන්ගේ ජාලය වඩාත් සංවිධානාත්මකව ක්‍රියාත්මක වන අතර, මෙම සංක්‍රමණිකයන් පැමිණෙන රටවල සහ ලිබියාවේ මධ්‍යම ආණ්ඩුවල පවතින දුර්වලතාවයන් නිසා ජවාරම්කරුවන්ට ඔවුන්ගේ ජාවාරම් අතිශය පහසු වී ඇති බවද විදෙස් වාර්තා පෙන්වා දෙයි.
යුද්ධය හා ගැටුම්, නොයෙක් වද හිංසනයන්ට ලක්වීම මෙන්ම, සුපිරි රටක සුපිරි ජීවිතයක් සෙවීමේ පරමාර්ථයෙන් යුතුව බොහෝ සංක්‍රමණිකයන් සාගරයක තබා, කුඩා ගංගාවක පවා ගමන් කළ නොහැකි මට්ටමේ බෝට්ටුවකට ගොඩවන්නේ, එහි ගමන් කළ යුතු ප්‍රමාණයද ඉක්වමින් බව කියැවෙයි.
යුරෝපා සංගමයේ දේශසීමා ආරක්ෂණ ඒජන්සියට අනුව මධ්‍යම මධ්‍යධරණී කලාපය හරහා පසුගිය සැප්තැම්බර් මාසයේදී පමණක් පැමිණි අනවසර සංක්‍රමණිකයන් සංඛ්‍යාව 12,700 ඉක්මවයි. කෙසේ වෙතත්, අයහපත් කාලගුණය හේතුවෙන් පසුගිය මාසයට වඩා එය 40%කින් පමණ අඩුවී ඇත.
කෙසේ වෙතත්, සමස්තයක් ලෙස බැලූවිට සංක්‍රමණික පැමිණීම 2015 සමග සැසඳීමේදී 2016 පළමු මාස නවය තුළ වැඩිවීමක් මිස අඩුවීමක් නොපෙන්වන බවද එම ඒජන්සිය පෙන්වා දෙයි.