ඉදිරි අයවැය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් ඉදිරිපත් කර තිබෙන යෝජනා ඇතුළත් නොකළහොත් අයවැය සම්මත කරගැනීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබානොදෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මාධ්‍ය ප්‍රකාශක රාජ්‍ය අමාත්‍ය ඩිලාන් පෙරේරා මහතා සඳහන් කළේය.මීට අමතරව දෙසැම්බර් මාසයේදී ඉන්දියාව සමග එට්කා ගිවිසුම අත්සන් කරන බවට අග්‍රාමාත්‍යවරයා සඳහන් කළද, එට්කා ගිවිසුමට සේවා ඇතුළත් වී තිබුණහොත් එහිදීද සහයෝගය ලබා නොදෙන බවත් අමාත්‍යවරයා පවසා සිටියේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඌව ප්‍රධාන අමාත්‍යවරයා සම්බන්ධයෙන් පාර්ලිමේන්තුව තුළදී සිදු වූ සිදුවීමේදී ඒකාබද්ධ විපක්ෂය එක්සත් ජාතික පක්ෂය සමග එක් වී අමාත්‍ය ෆයිසර් මුස්තාපා මහතාට එරෙහිව කටයුතු කළ බවයි. මෙතෙක් කලක් බැසිල් රාජපක්ෂ මහතා එක්සත් ජාතික පක්ෂය සමග රෑට රෑට ඩීල් දැමූ බවත්, එහෙත් මේ වනවිට එළිපිට ඩීල් දැමීමට පටන්ගෙන තිබෙන බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
බැසිල් රාජපක්ෂ මහතා ඇතුළු ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂය සමග ඩීල් දමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ කිරීමට කටයුතු කරන බවත්, මේ පිළිබඳ ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තේරුම්ගත යුතු බවත් ඔහු පවසා සිටියේය.සමූපකාර ඡන්දයකින් දෙකකින් දිනුවා යැයි කියා ඒකාබද්ධ විපක්ෂය කෑ කෝ ගැසුවද, ඡන්දයකදී ලැබෙන ප්‍රතිඵල හා සමූපකාර ඡන්දයකදී ලැබෙන ප්‍රතිඵල සංසන්දනය කළ නොහැකි බවද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.
යම් ලෙසකින් ඒකාබද්ධ විපක්ෂයේ කෙනෙකුගේ දරුවෙකු පාසල් සංවර්ධන සමිතියක තනතුරකට පත්වුවහොත් එම සමිතියේ බලය ඒකාබද්ධ විපක්ෂය සතු වූ බවට ප්‍රකාශ නිකුත් කළ හැකි බවද ඒ මහතා පවසා සිටියේය. කෙසේ නමුත් පක්ෂය දෙකට කැඩී මැතිවරණයකට ගියහොත් දෙපිරිසටම රතු එළිය ලැබෙන බවත්, එක්සත් ජාතික පක්ෂයට කොළ එළිය ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.
ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්වරයා ඇතුළු පිරිස් සමග ඩීල් දමා සිදු කරන්නට හදන්නේ මෙය බවත්, ඒකාබද්ධ විපක්ෂය සමග එක්සත් ජාතික පක්ෂය ඩීල් දැමුවද ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් ආණ්ඩුවේ සිටින්නේ සාමූහික ගිවිසුමකට අනුව බවත් ඩිලාන් පෙරේරා මහතා තවදුරටත් සඳහන් කළේය.