2016 අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඒ සඳහා ඡන්දය ප්රකාශ කිරීම සම්බන්ධයෙන් ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන හා රජයට පක්ෂපාතී ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් රැවුලත් - කැඳත් බේරාගැනීමේ සටනක නිරත වී සිටින බව අද ට වාර්තා වේ.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (02දා) පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබුණද ජනාධිපතිවරයා සමග අද පැවැත්වීමට නියමිත සාකච්ඡාව අවසන් වනතුරු අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්රකාශ කරන්නේද යන්න තීන්දු කිරීම බොහෝ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් කල් දමා තිබේ.
ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන් අද පෙරවරු 10.00 ට පාර්ලිමේන්තු සංකීර්ණයේ ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම් රැස්වීම පැවැත්වීමට නියමිතව තිබේ.
සම්මුතිවාදී ආණ්ඩුවට සම්බන්ධ වී සිටින ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රීවරුන් පිරිසක් අයවැයට පක්ෂ වීමත්, ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්රී.ල.නි.ප. බහුතර මන්ත්රීවරු පිරිසක් එම අයවැයට විරුද්ධ විය යුතුය යන ස්ථාවරයේ සිටීමත් නිසා මෙය ශ්රී ලංකා නිදහස් පක්ෂය දෙදරා යෑම දක්වා වූ අර්බුදයකට මග පෑදී තිබේ.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන මන්ත්රීවරු පක්ෂ නායක ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා අය වැය සම්බන්ධයෙන් ගනුලබන ස්ථාවරය හා පක්ෂයේ මන්ත්රීවරුන්ට අය වැයට සම්බන්ධයෙන් පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්රකාශ කිරීමට ලබා දෙන නිදහස මත ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම සිය තීන්දුව ගැනීමට නියමිතය.
කෙසේ වෙතත් අයවැය දෙවැනි වර ඡන්දය විමසීම සඳහා ඡන්දය ප්රකාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ඒකාබද්ධ විපක්ෂය ලෙස කටයුතු කරන ශ්රී ලංකා නිදහස් පක්ෂ මන්ත්රී කණ්ඩායම ඊයේ (01දා) සවස් වනතුරුත් තීරණයකට එළඹ නොතිබිණි.
මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පාර්ලිමේන්තු මන්ත්රී මනූෂ නානායක්කාර මහතා සඳහන් කළේ ජනාධිපතිවරයා සමග පැවැත්වෙන සාකච්ඡාවෙන් අනතුරුව ඡන්දය ප්රකාශ කරන ආකාරය පිළිබඳව තම කණ්ඩායම තීරණයකට එළඹෙන බවයි.
ශ්රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ලෙස මෛත්රීපාල සිරිසේන මහතා පවත්වන එම සාකච්ඡාවට පැමිණෙන්නැයි සියලු මන්ත්රීවරුන්ට දන්වා තිබෙන බැවින් එහිදී ගනු ලබන තීන්දු තීරණ මත අයවැයට පක්ෂව හෝ විපක්ෂව ඡන්දය ප්රකාශ කරන්නේදැයි තීරණය කරන බව මන්ත්රීවරයා ප්රකාශ කළේය.
මේ පිළිබඳව ජාතික නිදහස් පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී වීරකුමාර දිසානායක මහතාගෙන් කළ විමසීමකදී ඔහු සඳහන් කළේ ජනාධිපතිවරයා සමග එවැනි සාකච්ඡාවක් පැවැත්වුවද අයවැයට විරුද්ධව ඡන්දය ප්රකාශ කිරීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇති බවයි.
ජනතා සහන කප්පාදු කළ අයවැයක් මෙවර ඉදිරිපත් කර තිබෙන බැවින් ඒ සඳහා පක්ෂවීමට නොහැකි බවත්, අනිවාර්යයෙන්ම ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රී කණ්ඩායම ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කරන බවත් ඒ මහතා පවසා සිටියේය.
මේ පිළිබඳව ඒකාබද්ධ විපක්ෂ පාර්ශ්වය නියෝජනය කරන ශ්රී ලංකා නිදහස් පක්ෂයේ තවත් මන්ත්රීවරයෙකුගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම බොහෝ විට අද දිනයේදී ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටිනු ඇති බවයි.
දෙවැනි වර ඡන්දය ප්රකාශ කිරීමේ අවස්ථාව එතරම් සැලකිල්ලට නොගන්නා බවත්, එහිදී ඡන්දය ප්රකාශ කිරීමට ගියහොත් දෙසැම්බර් 05 වැනිදා පවත්වන තුන්වැනි වර ඡන්ද ප්රකාශ කිරීමේ අවස්ථාවේදී ගැටලු මතුවිය හැකි බවත් හෙතෙම කීය.
අයවැය දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීමේදී ඊට විරුද්ධව ඡන්දය ප්රකාශ කරන මන්ත්රීවරුන් දුෂ්කරතාවලට මුහුණදීමට ඉඩ ඇති බැවින් ඒ පිළිබඳ අවධානය යොමුකර, අද දිනයේදී ඡන්දය ප්රකාශ කිරීමෙන් වැළකී සිටීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කරනු ඇතැයිද එම මන්ත්රීවරයා පවසා සිටියේය.
මේ අතර, මෙවර අයවැය සඳහා තුනෙන් දෙකක බහුතර ඡන්දයක් ලබාගත හැකිවෙතැයි ආණ්ඩු පක්ෂය විශ්වාසය තබා තිබේ. අයවැය දෙවැනි වර ඡන්ද විමසීමෙන් අනතුරුව අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය වෙනුවෙන් දින 15 ක් වෙන්කර තිබෙන අතර, එම විවාදය හෙට (03දා) ආරම්භ කිරීමට නියමිතය.
ඒ අනුව අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම හෙවත් අයවැය අවසන් ඡන්ද විමසීම මේ මස 19 වැනිදා පස්වරු 5.00 ට පැවැත්වීමට නියමිතය.
අමිත් මධුරංග / චාමර සම්පත්