ශ්‍රී ලංකාව තුළ මත්පැන් පානය නතර කළ නොහැකි බවත්, කළ හැක්කේඑය පාලනය කිරීම පමණක් බවත් බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන මහතා ඊයේ (07දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් පී. පෙරේරා මහතා කළ ප්‍රශ්නයකට පිළිතුරු ලෙස ඒ මහතා මේ බව පැවසීය.
එම මන්ත්‍රිවරයා පවසා සිටියේ රජය මතට තිත ප්‍රතිපත්තිය ගෙන තිබුණද, පසුගිය වර්ෂවල මත්පැන් පානය ඉතා ශීඝ්‍ර ලෙස වැඩිවී ඇති බවයි. එයට හේතුව කුමක්ද යන්නද ඔහු ප්‍රශ්න කළේය.
එවිට නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ එසේ වී ඇත්තේ මිනිසුන් වැඩි වැඩියෙන් මත්පැන් පානය කරන නිසා බවයි.
ඉන් අදහස් වන්නේ රජයේ ප්‍රතිපත්තිය අසාර්ථක වී ඇත්දැයි පෙරේරා මන්ත්‍රීවරයා පෙරළා ප්‍රශ්න නැගූ අතර, එවිට නියෝජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ ඕනෑ එකක් හිතාගන්නා ලෙසයි.