ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ගෙනා යෝජනාව සම්බන්ධයෙන් ජිනීවා නුවර පැවති නොනිල මට්ටමේ සාකච්ඡාවකදී, ඊට පක්ෂ සහ විපක්ෂ රටවල් අදහස් දක්වා ඇති බවත්, එම යෝජනාවට පාකිස්ථානය තදින්ම විරුද්ධව කරුණු දැක්වා ඇති බවත් වාර්තා වෙයි.
එමෙන්ම, දකුණු අප්‍රිකාව ප්රමුඛ අප්‍රිකානු රටවල් මෙම යෝජනාව සම්බන්ධයෙන් කිසිවක් ප්‍රකාශ කර නැති බවත්, සුපුරුදු පරිදි යුරෝපීය රටවල් යෝජනාවට පක්ෂව කතා කරමින් එය තව දුරටත් ශක්තිමත් කිරීම සඳහා සංශෝධන ගෙන ආ යුතු බව පැවසුවේ යැයි බී.බී.සී.ය පෙන්වා දෙයි.
විශේෂයෙන්ම මානව හිමිකම් ක්ෂේත්රයේදී අධිකරණයේ ස්වාධීනත්වය පිළිබඳ ගැටලු ඇතුළත් කළ යුතු බවත්, වගවීම් පිළිබඳ යෝජනා සහ ප්රජාතන්ත්රවාදී ආණ්ඩුකරණය ශක්තිමත් කළ යුතු බවත් යුරෝපීය රටවල් විසින් ඉල්ලා ඇති බවත් පැවසෙයි.
මේ අතර, ශ්‍රී ලංකාවට සෑම විටම පක්ෂ රුසියාව, චීනය, පාකිස්තානය, කියුබාව, වෙනිසියුලාව යන රටවලින් ඉදිරිපත් වූ යෝජනාවලට ප්‍රතිවිරුද්ධ ප්‍රතිචාර යුරෝපීය රටවලින් පළ කෙරුණු බවද කියැවෙයි.
ඉන්දියාව මෙම සාකච්ජාවේදී නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බවත්, බංග්ලාදේශය යම් යම් සංශෝධන ගෙන එමින් යෝජනාවට එකඟ නොවන බව කියා ඇති බවත් පැවසෙයි.
එහිදී අනෙකුත් සියලුම රටවලට වඩා පාකිස්තානය ශ්‍රී ලංකා ආණ්ඩුව වෙනුවෙන් ඉතා ශක්තිමත්ව පෙනී සිටි බවත්, ශ්‍රී ලංකාවේ සුළුතර ආගමික නිදහස සම්බන්ධ යෝජනාව සම්පූර්ණයෙන්ම අහෝසි කරන ලෙස පාකිස්තානය ඉල්ලා ඇති බවත්, එවැනි ප්‍රශ්නයක් ශ්‍රී ලංකාවේ සුළුතර ආගමිකයන්ට නොමැති බව පාකිස්තානය කියා සිටි බවත් බී.බී.සී.ය පවසයි
ශ්‍රී ලංකා රජය යෝජනාව පිළිනොගන්නා බවත්, ඊට විරුද්ධ බවත්, එම යෝජනාව ශ්‍රී ලංකාවේ ස්වාධිපත්‍යයට ඇඟිලි ගැසීමක් බවත්, මුලින්ම මෙම රැස්වීම ඇමතූ ජිනීවාහි එකසත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත රවිනාථ ආර්යසිංහ මහතා පවසා තිබේ.